Saturday, January 11, 2014

උපද්‍රව සහ ව්‍යවසන



උපද්‍රව හා ව්‍යවසන

නියතිවාදයෙන්  ශඛ්‍යවාදයට පිය නැගූ මිනිසා සිය පැවැත්ම උදෙසා පරිසරය විවිධ අයුරින් වෙනස් කළ අතර අද එහි ප්‍රතිවිපාක වල ගොදුරු බවට පත්ව ඇත. මිනිස් සංහතිය පෙර නොවූ විරූ ලෙස නූතන ජයග්‍රහණ අතපත් කර ගත්ත ද තවමත් පරිසරයේ වහළුන්ම වෙති. එය සනාථ වන ප්‍රබල අවස්ථාවක් ලෙස උපද්‍රව සහ ව්‍යවසනයන් හඳුනා ගත හැකිය. තවමත් අප පරිසරයේ යකඩ හස්තය අභිබවා යාමට තරම් දියණු නොවෙමු. මෙම ලිපිය උපද්‍රව සහ ව්‍යවසන අතර පවතින වෙනස පිළිබඳ හඳුනා ගැනීම සඳහා ගනු ලැබූ ප්‍රව්ශයක් පමණි.
උපද්‍රව හා ව්‍යසන යන සංසිද්ධීන් එකිනෙකට බැඳී පවතී. මෙහිදී උපද්‍රවයකින් සිදුවන ප්‍රතිඵල ව්‍යවසන ලෙස විස්තර කෙරේ (UNDP 2004). ස්වභාවික උපද්‍රවයක් (Hazards) ආපදාවක් තුලින් ව්‍යවසනයක් (Disaster) නිර්මාණය වේ. ස්වභාවික පරිසරය විසින් හෝ නිර්මිත පරිසරය විසින් උපද්‍රව හට ගනු ලබන අතර එහි ප්‍රතිඵලය එසේත් නැතිනම් ප්‍රතිවිපාකය සමාජයට බලපානු ලබයි. මේ නිසා ව්‍යවසනයක් සමාජ විද්‍යාත්මක මුහුණුවරක් ගනු ලැබේ. උපද්‍රවය එසේත් නැතිනම් අපදාවය (Hazards) යන්න ප්‍රංශ භාෂාවෙන් හෝ අරාබි භාෂාවෙන් බිඳී ආ වචනයක් වන අතර ඉංග්‍රීසි භාෂාවේදී උපද්‍රවය යන්න “Hazards“ වශයෙන් භාවිත කරනු ලබයි. පැරණි මිනිසා උපද්‍රවයන් දෙවියන්ට බාර කළ අතර පරිසර ක්‍රියාවලියන් සම්බන්ධ හේතු හා ඒවායේ බලපෑම පිලිබඳ අවබෝධ වීමත් සමගම ස්වභාවික උපද්‍රව පිළිබඳව තිබු මත හා අදහස් වෙනස්ව ගියේය. ඒ අනුව ස්වභාවික පරිසරයෙන් සේම මිනිසාගේ බලපෑම මතද උපද්‍රව නිර්මාණය වන බව හඳුනාගෙන ඇත .

පෘථිවි පෘෂ්ඨයේ අස්ථායි ශක්තිය මුදාහැර ස්ථායි තත්වයට පත්වීම සරලව උපද්‍රව වශයෙන් අර්ථකථනය කළ හැකිය. අන්තර්ජන්‍ය හා බහීර්ජන්‍ය යන ස්වභාවික  ක්‍රියාවලින් පෘථිවි පෘෂ්ඨයේ ස්ථායිතාව රඳවා ගැනී සඳහා නිරන්තරයෙන් පෘථිවි පෘෂ්ඨයේ ඕනෑම ස්ථානයක සිදුවේ. මෙසේ සිදුවන  අන්තර්ජන්‍ය සහ බහීර්ජන්‍ය යන සියලුම ස්වභාවික ක්‍රියාවලින්  උපද්‍රව වශයෙන් හඳුන්වා දිය හැක .
ස්වභාවික පරිසරය විසින් හෝ නිර්මිත පරිසරය විසින් ඇති වන හෝ ඒ මඟින් මිනිසාට හෝ ස්වභාදහමට ඇති කරන විභව තර්ජනයකි

ලෙස කෙට්ස් 1978 දී උපද්‍රව යන්න නිර්වචනය කර දක්වයි. ගංවතුර,  නාය යෑම්, භූචලන, සුනාමි, ගිනිකඳු, නියඟ මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරනු ලබන යුද ගැටුම්, රථ වාහන අනතුරු, න්‍යෂ්ටික පිපිරීම් ආදිය උපද්‍රව වේ. උපද්‍රවය යන්න පාලනය කළ නොහැකි තත්වයකි. නමුත් එහි අවදානම හා ගොදුරු වීමේ හැකියාව අඩු කිරීම තුල උපද්‍රව අවම කිරීම කළ හැකිය .

 1964 ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට අනුව (Concise Oxford   Dictionary) ව්‍යසන නිර්වචනය කර දක්වන්නේ හදිසි විශාලඅවාසනාවන්ත තත්වයකි ලෙසයි. වෙබ්ස්ටෙර් ශබ්ද කෝෂය (Webster Dictionary ) ක්ෂණිකව විශාල හානියක් සිදුකරමින් ඇතිවන ඛේදජනක තත්ත්වයක් ලෙස ව්‍යවසන හඳුන්වා දෙන අතර සිංහල ශබ්ද කෝෂයට අනුව ව්‍යවසනයක් යනු විපතකි , කරදරයකි.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රකාශයට පත්කළ අපදා කළමනාකරුවන්ගේ අත් පොත මගින් ව්‍යවසන යන්න නිර්වචනය කර ඇත. ඊට අනුව
 මිනිසා විසින් නිර්මාණය කරනු ලබන හෝ ස්වභාවිකව ඇති වන, ක්ෂණිකව හෝ ක්‍රමාණුකුලව වර්ධනය වූ එයට ගොදුරු වන ගොදුරුවන ජනතාවට විවිධ සුවිශේෂී පියවර අනුගමනය කිරීමට සිදුවන සිදුවීමක් ව්‍යවසනයක් ලෙසය.

මේ අනුව උපද්‍රව හා  අවදානම යන ක්‍රියාවලි ද්විත්වයම මිනිස් ක්‍රියා කෙරෙහි බලපාන අතර එවන් බලපෑමකින් මිනිස් ජීවිත විනාශ වීම, තුවාල ලැබීම හෝ මිනිසාගේ දේපල වලට හානි සිදුවීම ව්‍යවසනයක් ලෙස හඳුනා ගත හැකිය. (Quaranteli,1998). පාරිසරික උපද්‍රව පිලිබඳ පුළුල් අධ්‍යනයක යෙදුනු Sheehan හා  Hewitt යන විද්වතුන් පාරිසරික ව්‍යවසන නිර්වචනය කිරීමේදී යම් උපද්‍රවයකින් සිදුවන හානිය තක්සේරු කිරීමටත් ප්‍රමාණිය කිරීමටත් නිර්ණායක කිහිපයක් යොදා ගන්න ලදී.
01)       අඩුම වශයෙන් සියදෙනෙකුවත් මරණයට පත් වීම (100)
02)       අඩුම වශයෙන් සියදෙනෙකුවත් (100) අනතුරට පත් වීම
03)       අඩුම වශයෙන් ඩොලර් දසලක්ෂයක් අලාභානි වීම

එහි නිර්ණායක විය (අමරසේකර  සහ දසනායක,2005  පි: 126). මේ අනුව ප්‍රජාවගේ හෝ සමාජයේ සාර්ථකත්වය උදෙසා සම්පත් පරිභෝජනයට පුරුදුව සිටි අතර එම සම්පත් සීමාව ඉක්මවා අධි පරිභෝජනය කිරීමේ ප්‍රථිපලයක් ලෙස ප්‍රජාවටත්, සමාජයටත් සහ ප්‍රජාවගේ පහසුකම් බිඳ වැටීමත්, දේපල වලටත් ආර්ථිකයටත් සහ පරිසරය ආදී සියල්ලටම විශාල ලෙස පැතිරුණා වූ ගැඹුරු බලපෑම් නිසා නැතිවීම යම් ව්‍යසනයක් ලෙස තව දුරටත් හඳුනා ගත හැකිය .( UNDP: 2004). සමස්තයක් ලෙස යම්කිසි උපද්‍රවයකින් මිනිසාට හෝ ඔහුගේ දේපල වලට හානියක් වේ නම් පමණක් එය ව්‍යවසනයක් වන අතර උපද්‍රවය අවදානම නොවන අතර ඉන සිදුවන ප්‍රථිපලය ව්‍යවසන ලෙස සරලව අර්ථ දැක්විය හැක. ව්‍යවසනයක් හැම විටම සමාජ විද්‍යාත්මක මුහුණුවරක් ගනු ලබන අතර එය සමාජ ආර්ථික ගැටළු ගණනාවක් ඇති කිරීමට හේතු වේ. ව්‍යවසනයක බැරෑරුම්කම තීරණය කරනුයේ මිනිස් ජීවිත වලට එල්ල වන බලපෑම හා අවදානමේ විශාලත්වය මතය. එය සමාජීය ප්‍රතිවිපාකයකි. ඒ ඔස්සේ පරිසර උපද්‍රවයක ප්‍රමාණය හා ස්වභාවය අනුව එය කොටස් 03 ක් ඔස්සේ හඳුනා ගත හැකිය.

01.මිනිස් ජීවිත වලට සිදුවන උපද්‍රව -Hazard people                                                
(ජීවිත අහිමි වීම්,තුවාල සිදුවීම් ,විවිද රෝගාබාධ ,මානසික බිඳ වැටීම් )
02. දේපල වලට සිදුවන උපද්‍රව -Hazard to Goods
(දේපල හානි හා ආර්ථික වශයෙන් වන අලාභ පාඩු
03. පරිසරයට සිදුවන උපද්‍රව -Hazard to Environments

ඉහත හඳුනා ගැනීමට අනුව සමාජීය වශයෙන් සිදුවන පරිහානිය උපද්‍රව තුලින් ඇතිවන ව්‍යවසනයක ප්‍රබලත්වය හා විශාලත්වය තීරණය කරයි .


ලෝකයේ ස්වභාවික ව්‍යසන.

ස්වභාවික ව්‍යසන ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වා ඇත. එය;
·       ස්වභාවික ව්‍යසන (Natural Disaster) හා
·               මිනිසා විසින් සිදු කරන ලද ව්‍යසන (Man Made Disaster) (UNDP: 2004)
නම් වේ. ස්වාබාවික උපද්‍රවයන්ගේ ප්‍රථිඵලයක් ලෙසත් සියලූම පහසුකම් කෙරෙහි අවදානමක් පවතින ක්‍රියාවලියක් ලෙසත් ස්වබාවික ව්‍යසනයන් හඳුනා ගත හැකිය (UNDP: 2004). මිනිසා ඇතුළු ජීව පද්ධතියටත් ආර්ථික රටාවන්ටන් කෙරෙහිත් ස්වභාවික ව්‍යසනයන් බලපෑම් සිදු කරනු ලබයි. මෙම ස්වභාවික ව්‍යසන උප කාණ්ඩ 05 ක්ද, ප්‍රධාන ව්‍යසන වර්‍ග 12 ක්ද, ඒවායේ උප කාණ්ඩ 30 ක්ද වශයෙන් යුත් වර්ගීකරණයක් හඳුනා ගත හැකිය (Dadby Guha- Sapir, 2010:7-9). පහත ගැලීම් සටහන මඟින් ඉදිරිපත් කර ඇත්තේ ස්වභාවික ව්‍යසන වර්ගීකරණයය.

  මූලාශ්‍රය:http://cred.be.

 
                        මිනිසා විසින් සිදු කරන ලද ව්‍යසන ලෙස බෝම්බ පිපිරීම, හිතා මතා ගිනි තැබීම්, ත්‍රස්තවාදය, යුද්ධ, මංකොල්ලකෑම්, ඒඩ්ස් වැනි රෝග, න්‍යෂ්ටික බලාගාර පිපිරීම් (ෆුකොෂිමා), සමුද්‍ර තෙල් කාන්දු වීම් ආදිය ඇතුලත් වේ (දිසානායක,2011:1). 

                        ලෝකය හා මිනිස් සමාජය යන දෙ අංශයම ස්වබාවික ව්‍යසන මඟින් වෙනස් වීම් වලට ලක් වේ (ධනපාල,2008:1-9). අතීතයේ සිට මිනිසාගේ පැවැත්මට ස්වභාවික ව්‍යසන ප්‍රබල තර්ජනයක් වී ඇත. ජන සංක්‍රාන්ති න්‍යායේ පූර්ව අවදිය ගත් විට එම අවධිය තුළ ඉහළ උපත් හා ඉහළ මරණ අනුපාතයක් පැවතුණ අතර ජන සංඛ්‍යා වර්ධනය ඉතාම අඩු වීය. මෙසේ ස්වභාවික ජන සංඛ්‍යා වර්ධනය අවම තත්ත්වයන පැවතියේ ස්වභාවික ව්‍යසන, දුර්භීක්ෂ, සාගත යන තත්ත්වයන් හේතු වූ නිසාය. ලොව තාක්ෂණික ජය ග්‍රහණ කොතෙකුත් ලඟා කර ගෙන තිබුණ ද අදද නිරත්තරයෙන්ම ස්වභාවික ව්‍යසනයන් මිනිසා ඇතුළු සමාජීය පද්ධතියටම විශාල බලපෑමක් ඇති කර ඇති අතරම එය රටක සංවර්ධනයේ පසුගාමීතවයට හේතු වේ.  ලෝකයේ සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් වශයෙන් බෙදීමකින් තොරව උපද්‍රවයන්ගේ බලපෑම සිදු වේ.

2 comments:

  1. ගොඩක් වටිනවා. thank you

    ReplyDelete
  2. ඇත්තටම දන් නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා❤️ තැන්ක් යූ

    ReplyDelete