Wednesday, February 19, 2014

භූගෝලීය තොරතුරු තාක්ෂණය/ විද්‍යාව පිළිබඳ පිවිසුමක් හෙවත් GIS පිළිබඳ මුලික හැඳින්වීමක්

      Geographical Information System  හෝ science  (GIS) එහෙමත් නැත්නම් Geospatial information studies යනුවෙන් හැඳින්වෙන්නේ පරිගණක තාක්ෂණය උපයෝගි කරගෙන භූ දර්ශනයේ විවිධ තොරතුරු digital මාධ්‍යයෙන් ඉදිරිපත් කිරිමේ විද්‍යාව, තාක්ෂණය, අධ්‍යයනය යන ඒවාගෙන් එකක්. GIS සඳහා සංකල්පනාත්මක පදනම වැටුනේ 1830 දි පමණ ඈතක බව විකිපීඩියා සඳහන් කරනවා. නමුත් Coppock හා Rhind දක්වන ආකාරයට 1950 පමණ වන විට පරිගණක භාවිතයෙන් සිතියම්කරණය ආරම්භ වී තිබෙනවා.Mcdonal දක්වන ආකාරයට  GIS ආරම්භ වන්නේ 1984 දී පමණ. ඒ කෙසේ  නමුත් GIS වල එක්තරා පැහැදිලි ආරම්භයක් 1960 දී කැනඩාවේ සිදු විය. ඒ එරට වන හා ග්‍රාම සංවර්ධන වැඩසටහනක් (Canada Geographic Information System)සඳහා සිදු කළ ව්‍යාපෘතියකදි. 

UC2010logo
       
       මේ සඳහා විශයයන් රාශියක දැනුම එක්ව තිබේ. භූගෝල විද්‍යාව, පරිගණක විද්‍යාව හා තාක්ෂණය, සංඛ්‍යානය, සිතියම් විද්‍යාව, මැනුම් විද්‍යාව, දුරුස්ථ සංවේදය, හා විවිධ පර්යේෂණ ක්ෂේත්‍ර ඒ අතර වේ. මේ නිසා අද වන විට ඉතා වේගයෙන් දියුණු වන හා භාවිතයේ ඉතා සුලභ බවක් පෙන්වන විද්‍යාවක් / තාක්ෂණයක් ලෙස GIS හඳුනා ගත හැකියි. යුධ කටයුතු සඳහා වි‍ශාල දායකත්වයක් ලබා දුන් මෙම ක්ෂේත්‍රය තාක්ෂණයේ භාවිතයන් සුලභ වීම හේතු කොට ගෙන පොදු මහජන භාවිතය දක්වා පැමිණ තිබේ. GPS තාක්ෂණය ද එසේ දායාද වුවකි. නමුත් පැහැදිලිවම කිව යුත්තේ GIS  හා GPS යනු දෙකකි. මේ ලිපිය GIS  ගැන වේ.

        භුගෝලීය තොරතුරු පද්ධතියක් යනු පරිගණක ගත තොරතුරු පද්ධතියකි. එයට තෙරතුරු ලබා දුන් විට එම තොරතුරු නැවත බා ගැනීම එක්ලස් කිරීම, ආකෘති ගත කිරීම, හැසිරවීම, විශ්ලේෂණය, දත්ත ඉදිරිපත් කිරීම ආදිය කිරිමේ හැකියාව ඇත.(M.F. Worboy)


       මා GIS යන්න හඳුනා ගන්නේ සිතියම් විද්‍යාවේ තාක්ෂණික දිගුවක් ලෙසයි. මේ නිසා GIS  හොදින් භාවිතා කිරීමට පෙර සිතියම් කියවීමේ සමත්කමක් (Map Reading) හා දැනුමක් ද පරිගණක හෝ නුතන තාක්ෂණික උපාංග භාවිතා කිරීමේ හැකියාවක් ද අනිවාර්යෙන් තිබිය යුතුවනවා.

GIS වල මුලික කාර්යයන් කිහිපයක් තිබේ.
  • දත්ත ඇතුළත් කිරීම හා දත්ත සැකසීම.
  • දත්ත පාලනය හා ගබඩා කිරීම.
  • අවකාශීය තොරතුරු විශ්ලේෂණය හා සංස්ලේෂණය කිරීම.
  • දෙන ලද දත්ත ඇසුරින් ප්‍රස්ථාර, සිතියම් හා රෑපසටහන් ඉදිරිපත් කිරීම.
  • දත්ත දෘෂ්‍යාත්මක තොරතුරු බවට පරිවර්ථනය කිරීම. 

    භුගෝලීය තොරතුරු පද්ධතියක් නිසි අයුරින් බල ගැන්වීමට අවශ්‍ය ප්‍රධාන සාධක 03 ක් තිබෙනවා.

01). පරිගණක පද්ධතියක් (Computer System) / තොරතුරු පද්ධතියක් (Information System)
          මිනිසා පරිඝණකය නිපද වුයේ මිනිසාට අවශ්‍ය වු නමුත් සිහි තබාගෙන හැසිරවිය නොහැකි තරම් වු තොරතුරු / දත්ත ප්‍රමාණයක් නිවැරදිව හැසිරවීමට යි. මිනිසා විසින් මෙහෙයවන අමතර බුද්ධිමය ඒකකයක්  වශයෙන් පරිඝණකය මේ නිසා හඳුනා ගත හැකියි. පරිගණකයක් ක්‍රියාත්මක වන්නේ ‘දෘඩාංග’ (hardware) හා ‘මෘදුකාංග’ (software)  යන කොටස් දෙක එක් වීමෙන්.
         මේ අතුරින් මෘදුකාංග  කොටස කොටස් දෙකකට නැවත බෙදෙනවා. පරිගණකය ක්‍රියාත්මක වීම සඳහා වු ‘මෙහයුම් පද්ධතියට අදාල මෘදුකාංග’ (system software) හා එදිනෙදා කටයුතු කරගැනීම සඳහා ඇති ‘යෙදුම් මෘදුකාංග’ (application software).
              (*) පද්ධති මෘදුකාංග  XP, Linux,Vista 
             (*) යෙදවුම් මෘදුකාංග  Word, Excel, Photoshop, 
                  
       පරිගණක පද්ධතියක අඩංගුවනවා තොරතුරු පද්ධති.  තොරතුරු පද්ධතියක් කියන්නේ යම් කිසි වැඩක් කරගන්න කියලා පිළිවෙළකට එකතු කරපු තොරතුරු / දත්ත ගොන්නකට. එහෙම නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්.

         “කිසියම් අරමුණක් ඉටු කරගැනීම සදහා ක්‍රමානූකූලව එකිනෙකට සම්බන්ධ වු සංරචක රාශියක එකතුව”(02 වන මුලාශුය 36 පිට)

02). භූගෝලීය තොරතුරු පද්ධති/ දත්ත.(Geographical data)
        ‍භූ‍ගෝලීය වශයෙන් විමර්ශනය කර ලබා ගන්නා දත්ත හා එම එකතු කෙරෙන දත්ත තොරතුරු ගබඩාවක්. ඒ ගබඩාවේ තියෙන තොරතුරු විශ්ලේෂණය කළ හැකි සංස්ලේෂණය කළ හැකි හා හැසිරවිය හැකි වගේ ම එවාගේ අවසාන ඵලයන් නිරෑපණය කළ හැකි  පද්ධතියකි. භුගෝලීය තොරතුරු ඉතා විශාල පරාසයක විහිදෙනවා. මේ නිසා එකතු වන තොරතුරු හා දත්ත ද වි‍ශාල ප්‍රමාණයක් මෙවන් පද්ධතියක තියෙනවා.
මේ භූගෝලීය දත්ත ඒවායේ ස්වභාවය අනුව කොටස් දෙකයි.
      01. අවකාශීය දත්ත/ ප්‍රමාණාත්මක දත්ත
                 මේ යටතට උස, දිග, දුර, කාලය ආදි මානයන් පිළිබඳ තොරතුරු ඉදිරිපත්  කෙරේ.

      02. අවකාශිය නොවන දත්ත/ ගුණාත්මක දත්ත (තොරතුරු)
       මේ කියන දත්ත/ තොරතුරු අපිට ප්‍රාථමික මුලාශ්‍ර වලින් හා ද්විතික මුලාශ්‍ර වලින් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෝ ඔයාට ම ගිහින් අහලා බලලා තොරතුරු එකතු කරා ගන්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් පොතක් පතක් බලලා විස්තර හොයා ගන්න.

03). ක්‍රියාකරවන්නෙක් (User)
       ක්‍රියා කරවන්නා විද්‍යාඥයෙක්, පර්යේෂණයෙක්, විද්‍යාර්ථියෙක් වෙන්න පුළුවන්.. කෙසේ වෙතත් 
  • ක්‍රියාකරවන්නාට පරිඝණකයක් හසුරුවන්න නවීන තාක්ෂණික යෙදවුම් හැසිරවිය හැකි වීම,  
  • මෘදුකාංග හැසිරවිය හැකි වීම, 
  • භුගෝලීය කරුණක් නිසා භුගෝලීය තොරතුරු හැසිරවිය හැකි වීම, අනිවාර්ය වේ. 

         GIS පද්ධතියක් තුළින් නිර්මාණය කරන සිතියමක තියෙන තොරතුරු පිහිටන්නේ තට්ටු විදිහට. උදාහරණයක්පො ලෙස ෆෝටෝෂොප් වගේ මෘදුකාංගයකින් ‍ග්‍රැෆික් කිරිමට ලේයර් අවශ්‍ය වේ.. GIS වලත්  භූමි පාරිභොග වැනි  පැතිරුණු ප්‍රදේශ දැක්වීමට එක තලයක් (ලේයර් එකක්) පාරවල් ගංගා ඇළ දොළ වලට තවත් ලේයර් එකක්, නගර නාම ගොඩනැඟිලිවලට වෙනම  ලේයර් අවශ්‍ය වේ. මේ ලේයර් සේරම හරි පිළිවෙළට එක මත එක තැබීමෙන් එක සිතියමක් නිරුපනය වේ.

campbell-fig01_0121
     
       මේ නිසා GIS  සිතියමක වෙනත් සිතියමකට වඩා තොරතුරු ඇතුළත් වෙනවා. එසෙත් නැත්නම් එවගේ සිතියමක් හදන්න අපිට ගොඩාක් තොරතුරු ලබා දිඉමට සිදු වෙනවා. නමුත් අපි අතින් සිතියමක් අදිනවාට මේ වැඩේ පිළිවෙළට පිරිසිදුවට කරන්න පුළුවන්.  අනික සිතියම් ඇදිමේදී වූවද විශේෂ සුදුසුකම් වන චිත්‍ර ඇදිම, පරිමාණයට ඇදිම, කිලිටි විම වැනි අපහසුත මතු වුවද මෙහිදී මෘදුකාංගය හසුරුවන්න හා අවශ්‍ය දත්ත ලබා දිම පමණක් ප්‍රමාණවත් වේ. 

    GIS වලට අදාල මෘදුකාංග කිහිපයක් පවතිනවා.
මුදල් ගෙවා ගත හැකි මෘදුකාංග.
  • ArcInfo GIS (GIS කාර්යන් කරගන්නා අයගෙන් 70% කට වඩා භාවිතා කරන්නේ මෙයයි.)
  • Arc View 3.x
  • Arc GIS (ඉහත දක්වන මෘදුකාංග දෙක එක් කොට තනන ලද්දකි.)     
  • IDRSI
  • ILWIS
  • MapInfo

නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග.

GIS භාවිතයෙන් නිර්මාණය කරපු සේයා සිතියමක්.

popudensපිංතුරේ හොයා ගත්තේ ගුගුල් සෙවුමකින්.

           කඳු තැනිතලා ජලාශ වැනි භෞතික සාධක මෙන්ම මිනිසා විසින් ඇති කරන ලද දේ හා පවත්වාගෙන යන දේ පෘථිවි තලය මත පවති. සිතියම් ඇඳිමේ දි මේ සියළු ලක්ෂණ රෑප, සංකේත හා අක්ෂර මඟින් දක්වනු ලැබේ. GIS මඟින් නිර්මාණය කරන සිතියමක් ගොඩනැ‍ඟෙනුයේ ජ්‍යාමිතික ලක්ෂණ වලට අනුවයි. ඒ අනුව සියළුම තොරතුරු දක්වන්න පුළුවන් වෙන්නේ ආකාර තුනකට විතරයි.
1. ලක්ෂ්‍යය (තිත) (point)
2.රේඛාව (Line)
3.කලාප, බහුඅස්‍ර (polygon / Area)
     මේවා මේ පිළිවලටම තිබිඉම අත්‍යවශ්‍ය වන අතර කලාපයක් (පොලිගන්  හැඩයක්) උඩම තලයට (ලේයර් එකට) ආවොත්  රේඛා (ලයින්), ලක්ෂ්‍ය (පොයින්ට්) වැසි යාමට පුළුවන්. එමෙන්ම රේඛා (ලයින්) පහලින් ලක්ෂ්‍ය (පොයින්ට්) තිබ්මෙන්ද ලක්ෂ්‍ය (පොයින්ට්) වැසි යමක් සිදු වේ. 

ලක්ෂ්‍යය (point)
         ලක්ෂයකින් නිරෑපණය කල හැකි තොරතුරු මේ මඟින් දක්වනවා. එක් x, y ඛණ්ඩාංක මගින් නිරුඋමනය කර දක්වයි. 
         උදා: ළිදක්, නිවෙසක් හෝ ගොඩනඟිල්ලක්, නගරයක් හෝ ග්‍රාමයක්  වැනි ස්ථානීය පිහිටීමක්.
රේඛාව (Line)
        රේඛාව නැතහොත් ලයින් සැදෙන්නේ ලක්ෂ්‍ය හෙවත් පොයින්ට් දෙකක් හෝ කිහිපයක් එකතු වීමෙන්. මේවා වීවෘත හැඩතල. රේඛාව නිර්මාණය වන ආකාරයට අනුව ඛණ්ඩාංක අනුපිළිවෙලින් දැක්වීම මගින් රේඛාවේ විහිද යන දිශාව (රේඛාව විහිදෙන පැත්ත) දක්වනවා. එයින් දිග හෝ දුරක් දක්වනු ලබනවා. ඒ නිසා මෙය ඒක මාන ලෙසින් හැදින්වෙනවා. රේඛාවකින් නිරෑපනය වන සියළු තොරතුරු මෙයින් නිරූපණය ‍කරනවා.
        උදා: මහා මාර්ගයක්, ගඟක්
 කලාප, බහුඅස්‍ර (polygon / Area)
   ආවෘත හැඩතල එසේ නැත්නම් කලාප  ලෙස හදුන්වාදිය හැකිය. යම් ප්‍රදේශයක් පෙන්ද්විමේදී මෙය භාවිතා වන අතර ලයින් කිහිපයක් එකතු වීමෙන්  මෙවැන්නක් සෑදෙනවා. මේ වර්ගයේ තොරතුරු වල දිග, පළල, දුර, උස, ගැඹුර ආදි මානයන් කිහිපයක් අඩංගු විය හැකිය.
           උදා: වැවක්, ප්‍රදේශයක් (ගමක්, පළාතක්)

      GIS වල තොරතුරු නිරූපණය කල හැකි  එසේ නැත්නම් තොරතුරු ඇතුළත් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා.

1.වෙක්ටා ක්‍රමය (Vector)
මේය බහුල භාවිතා වන අතර සරල පහසු ක්‍රමයකි.
untitled
    මින් පෙන්වා දී ඇති ආකාරයට පොයින්ට් කිහිපයක් එකතු විමෙන්  ලයින්, එවැනි ලයින් කිහිපයක් එක් වෙලා පොලිගන් හැදෙන හැටි. 
මේ  වෙක්ටා ක්‍රමයෙදි  භූගෝලීය තොරතුරු ‍යම්ස්ථානයක පිහිටීම දක්වන්නේ   x, y, හෝ  x,y,z ඛණ්ඩාංක මගින්. මේ ඛණ්ඩාංක ජාතික ඛණ්ඩාංක තලයට අනුව පිහිටුවනවා. (එනම් ජාතික අක්ශාංෂ දේශාංෂ එක්ක ඔයා අදින තිතක් ලයින්, පොලිගන් සම්බන්ධ කෙරෙනවා.)

2.රාස්ටා ක්‍රමය (Raster)
         මේක  කොටු දැලක තමයි පිහිටන්නේ.  අදාල තොරතුරු දක්වන්නේ කුඩා කොටු මගින් වන අතර කොටු-දැල නිශ්චිත පරිමාණයකට අනුව සැකසුණු කොටු/ ඛණ්ඩංක (cell, pixel) තලයකින් සමන්විත වෙනවා. නිශ්චිතවම ස්ථාන පෙන්වන්නට බැරි දුර්වලතාවය මේ ක්‍රමයේ තියෙනවා.

untitled2
මේ ක්‍රමයෙදි අදාල තොරතුර දක්වන්නේ ඒකටම අදාල වු cell (කොටුවක්/ ඛණ්ඩංකයක්) එකක.   

      
     
gis
උපුටා ගැනීමකි

GIS පද්ධතියක මුලික සංරචක

      ප්‍රධාන සංරචක 5 කි.  
gaaaaaaasis උපුටා ගැනීමකි

  1. ද්‍රෘඪාංග (Hardware)
  2. මෘදුකාංග (Software)
  3. දත්ත (Data)
  4. මානවයා (People)
  5. ක්‍රම (Methods)
භූගෝලීය තොරතුරු පද්ධතියක් මඟින් ඉටු කළ හැකි කාර්යයන්.

1. සිතියම් විද්‍යානුකූලව නිවැරදිව සිතියමක් නිර්මාණය කරගැනීමේ කාර්යක්ෂම පහසුවක් ලබා දීම.
            සිතියම් විද්‍යානුකූලව සිතියමක් නිර්මාණය කිරීමට දිගු කාලයක් අවශ්‍ය වේ. විශාල ප්‍රමාණයේ සිතියම් සඳහා යන කාල වේලාව වැඩිය. එමෙන්ම සිතියමක් ඇඳිමේදි වැරදිම් නිසාත් කාලය හා සම්පත් බොහෝවිට අපතේ යයි. ඇදිමේ හැකියාවක් නැති කෙනෙක්ට වුවත් ඉතාම ලක්ෂණ හා පිරිසිදු ගුණාත්මක අතින් ඉහළ මට්ටමේ සිතියමක් පහසුවෙන් නිර්මාණය කර ගත හැකියි.එමෙන්ම සිතියම් නිර්මාණය සඳහා යන වියදම අඩුය. පිටපත් විශාල ප්‍රමාණයක් සඳහා වුවත් වැඩි කාලයක් යන්නේ නෑ. අනෙක් කරුණ වන්නේ මේක ජාතික හා ගෝලිය ඛණ්ඩාංක තලයන් එක්ක පිහිටුවන නිසා ප්‍රදේශයක විමසීමක් වුවත් ගොලීය විමසීමක් වුවත් කරන්න පහසුයි.

2. විවිධ තේමාවන් යටතේ ඇති සිතියම් එකවර භාවිතා කළ හැක.
        GIS  මඟින් සිතියමක් නිර්මාණය කිරීමේදි අප විවිධ තොරතුරු ගබඩා කර ගත යුතුයි. එමෙන්ම භු විෂමතාවය භුමිපරිහෝගය ජලව්‍යාප්තිය හා මාර්ග ජාලයත් ගොඩනැඟිලි ව්‍යාප්තියත් ආදි තොරතුරු දැක්වෙන තේමා ගණනාවකට ආදාල තොරතුරු එකම සිතියමක් සඳහා පහසුවෙන් භාවිතා කළ හැකියි. එමෙන්ම සිතියම් කිහිපයක තොරතුරු එකම සිතියමක වුවත් දැක්වීමේ හැකියාව  මේ නිසා ලැබෙනවා. එමෙන්ම එක සිතියමක අඩංගු තොරතුරු තවත් කාර්යයන් සඳහා ප්‍රයෝජනවත් විය හැකියි.  මේ පහසුකම නිසා සංවර්ධන කටයුතු, අපදා කළමළණාකරණය, යුද කටයුතු සඳහා මේවැනි සිතියම් ඉතාම ප්‍රයෝජනවත් වේ. තොරතුරු රාශියක් අඩංගු  සිතියමක් නිරික්ෂණය කර විවිධ නිගමන හා නිරික්ෂණ කිරීමේ හැකියාවත් ලැබෙනවා.

3. සිතියමක් සැකසීමේදි දත්ත වගු තුළ දත්ත ගබඩා කරනු ලබන නිසා තොරතුරු ‍ද ගොනු ගත කෙරේ. ක්ෂේත්‍ර හා තේමා ගණනාවක දත්ත කාර්යක්ෂමව හැසිරවීමට හා කළමණාකරණයටත් උපකාර කරයි.
         මේ නිසා කලින් පැවති සිතියමකින් ලැබෙන පහසුකමට අමතරව ප්‍රමාණාත්මක තොරතුරු ද පරිශිලකයාට ලැබේ. මේ නිසා පරිශිලකයාට ප්‍රමාණාත්මක දත්ත හා අවකාශීය දත්ත එකවර හැසිරවීමේ පහසුව ලැබේ. එ නිසා දැත මත ඇති කඩදාසි සිතියමකට වඩා මේ සිතියම් තොරතුරු ලබා දීම අතින් ඉහළ හා කාර්යක්ෂම සේවයක් ඉටු කරනාවා. එමෙන්ම යාවත්කාලීන කරන ලද තොරතුරු ඇතුලත් කළ වහාම සිතියම ද වහාම යාවත් කාලීන වේ. එ නිසා සිතියම් ඇඳිම සදහා ‍වෙහෙස වීමට කාලය වැය නොවේ.

4. ප්‍රමාණාත්මක තොරතුරු තවත් කාර්යන් සදහා යොදා ගත හැකිවීම නිසා GIS  මඟින් නිර්මාණය කරන සිතියමක් බහුකාර්ය උපකරණයක් වේ.
        සිතියම හා අදාල වන දත්ත ඇති නිසා නැවත නැවතත් විශලේෂණය හා සංස්ලේශණය කළ හැකි දත්ත ඉතා වටිනා ඒවාය. එමෙන් ම සිතියම් යාවත් කාලීන කිරීම මෙහිදි ඉතාම පහසුය. මේ නිසා සිතියම් මඟින් දැක්වෙන තොරතුරු කාලීන ඒවා වේ. විශේෂයෙන්ම ව්‍යාප්ති සිතියම් අවබෝධය පහසු වුවත් ප්‍රමාණාත්මක තොරතුරු ලබා දීමේදි ඇති කරනු ලබන අඩුපාඩු GIS වලදි දක්නට නොලැබේ.

5. ජාලගත වි‍ශලේෂණයන් සිදු කිරීමේ හැකියාව පවති.
      කලින් පැවසුවා සේ ම ජාතික ජාත්‍යන්තර ඛන්ඩාංක සමඟ මේ සිතියම් පිහිටවනු ලබනවා. එමෙන්ම තේමා රාශියක තොරතුරු සහිත ගොනු මේ හා බැඳි පවතිනවා. මේ නිසා ජාලගත විශ්ලේෂණයන් කිරීම ඉතාම පහසුයි.  එමෙන්ම දත්ත හුවමාරුව පවා අතිශයින් වේගවත්ව සිදු කළ හැක.

6. අතීත පුරොකතන ඇසුරෙන් දත්ත විශ්ලේෂණය කර අනාගත තෙරතුරු ප්‍රක්ෂේපණය කර ගත හැක.
        උදාහරණයක් වශයෙන් අවශ්‍ය දත්ත ලබා දි ඇත්නම් ඒවා විශ්ලේෂණය කර ගංගාවක ජල මට්ටම වැඩි වීමට සාපේක්ෂව එයින් ගංවතුර අපදාව ඇති කරන ප්‍රදේශය ඉතා පහසුවෙන් ක්ෂණිකව සොයා ගත හැකියි. ජනගහණයේ වර්ධනය ව්‍යාප්තිය වගේ තොරතුරු සඳහා මේ වන විටත් එවැනි සිතියම් භාවිතා කරනවා ඔබ දැක ඇති.

7. GIS මඟින් ලබා දෙන්නේ සිතියම් නිර්මාණය කිරිමේ පහසු කම පමණක් නොවේ.
        එය එහි ප්‍රධාන එක් අංගයක් පමණි. GIS  මඟින් සංකිර්ණ විශ්ලේෂණයන් සිදු කර භූගෝලීය වශයෙන් වැදගත් වන්නා වු තොරතුරු ලබා දිය හැක.
       උදාහරණයක් වශයෙන් ඔබ යම් ආකාරයක සමාජීය පර්යේෂණයක් සඳහා ප්‍රදේශයක් සොයනවා යැයි සිතමු. ඔබට අවැසි වන්නේ ලංකාවේ වයස අවුරුදු 15-25 ත් අතර ගැහැණු ළමුන් සිටින ප්‍රධාන පාරේ සිට කිලෝමීටර 5ක් තුළ වාසය කරන ඉඩම් අක්කර දෙකකට වඩා වැඩි ඉඩමක පදිංචි වි සිටින අයය. ඔබ ඒ සඳහා දත්ත සපයා ඇත්නම් ( ඒ කියන්නේ  මීට වසර 25ත් 15ත් අතර කාලයේ සිදුවු ස්ත්‍රී උපත් පිළිබඳ තොරතුරු, ලංකාවේ ප්‍රධාන මාර්ග  ජාලය ගැන තොරතුරු, ප්‍රධාන මාර්ග පද්ධතිය අවට ඉඩම් පරිභොගය ගැන තෙරතුරු සපයනවා නම්) ඔබ සොයන ආකාරයේ අය සිටින පලාත් ඉතා පහසුවෙන් ක්ෂණිකයෙන් සිතියමකින් දක්වන්නට GIS  වලට හැකියාව ඇත.
       පුද්ගල වැරදි වීම් වලින් බෙහෝ දුරට තොරවු සිතියමක් නිර්මාණය කර  ගත හැක. එමෙන් ම සිතියම්කරණයේ දුර්වලතා මඟහරවා ගන්නටද මේ මඟින් හැක. සේයා සිතියම් වැනි ව්‍යාප්ති සිතියම් වල ප්‍රමාණාත්මක තොරතුරු ලබා ගැනිමේ දුශ්කරතාවයද මේ මඟින් නැතිව යයි. තාක්ෂණික නැඹුරුව නිසා බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගෙන ඇති හෙයින් විශය පෝෂණයටද රුකුළක් වේ.අනෙක් අතට භුගෝලය හදාරන අයගේ තාක්ෂනික නැඹුරුවට හා පරිගණක සාක්ෂරතාවයට ද උපකාරයකි.

8.  GIS දුරස්ථ සන්නිවේදන තාක්ෂණයේ දියුණුවට හා චන්ද්‍රිකා තාක්ෂණයේ දියුණුවටද බෙහෙවින් බලපා ඇත. GPS (Global Positioning System)‍වැනි උපාංග හා උපකරණ ‍GIS  නිසා බිහිව තිබේ. 1970 ගණන්වල සිට දුරස්ථ සංවේදන ක්‍රමවල සිදු වු දියුණුවත් සමඟ GIS වර්ධනය වන්නේ ඒ තාක්ෂණයන් ඇසුරේය. මේ නිසා GIS හා GPS අතර එකිනෙකා පෝෂණය කරන සම්බන්ධයක් පවතින බව පෙනේ.




තවත් ලිපියකින් හමුවෙමු....!


 ආශ්‍රීත ග්‍රන්ථ:
01).   භෞම විද්‍යා 8 වන කලාපය (නව වන ලිපිය), “භූගෝලිය තොරතුරු පද්ධතියේ භාවිතය”, ඩබ්ලිව්. එන්. දයාන් පීරීස් (මේක කැලණිය විශ්වවිද්‍යාලයේ භුගෝල විද්‍යා අධ්‍යනාංශයේ වාර්ෂික සඟරාව. ඉතා සීමිත පිටපත් ප්‍රමාණයක් තමයි මුද්‍රණය වෙන්නේ.

02). භෞම විද්‍යා 9 වන කලාපය, “ Arc GIS භාවිතයෙන් සිතියමක් Georeferencing කිරීම. ( UTM ක්‍රමයට )” ඩබ්ලිව්. එන්. දයාන් පීරිස්.

03).    “සිතියම්, භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදය”, චන්දන පී ගුණසේන, ඇස්. ගෙඩගේ ප්‍රකාශන (2008), ISBN -978-955-30-0452-9 (ක්ෂේත්‍රය ගැන සිංහලෙන් ලියවිච්ච පුංචි ගාණකට (200/=) ගන්න පුළුවන් ප්‍රයෝජනවත් පුංචි පොතක්.)

තොරතුරු සඳහන් වෙබ් අඩවි:

සිංහලෙන් විස්තර සඳහන් වෙන අඩවි: