Friday, October 31, 2014

ලෝකයේ විභේද

          ලෝකයේ විභේද යනුවෙන් අදහස් කරන්නේ පෘථිවි තලයේ සිදුවන විවිධ පැලීම් නිසා භූමිය දැදුරැ වී ඒ වෙන්වු තැන තිබෙන පාෂාණ තල දෙක චලනය වී විතැන් වීම නිසා සෑදෙන භූ රෑප වේ. මේ නිසා සිදු වේ යැයි බලා පොරොත්තු වන ප්‍රධානත ම ක්‍රියාවලිය වන්නේ, බිඳුණු තැනින් වෙන් වන පාෂාණයෙන් එක් කොටසක් ගිලා බැසිය හැකි වීමයි.

සුප්‍රසිද්ධ කිලෝ මීටර 1300 දිගැති සෙන් ඇන්ඩ්‍රියාස් විභේදය, කැලිෆෝනයාව, එක්සත් ජනපදය.  (ඡයාරෑපය අන්තර්ජාලයෙනි.)

විභේදයක් කිලෝමීටර සිය ගණනක් දිගු විය හැකි සේම ඉතාම කුඩා ද විය හැකියි.

මේ පෑනත් එක්ක සංසන්දනය කර බලන විට මේ විභේදයන් ඉතාම කුඩා ඒවා. 
(ඡයාරෑපය අන්තර්ජාලයෙනි.)
ඒ වගේ ම විභේදයක් කියන්නේ පාෂාණයක් කිහිප තැනකින්ම බිඳ දමන දැවැන්ත ක්‍රියාවක්. 
ඡායාරෑපයේ පෙන්වනවා පාෂාණය කිහිප අවස්ථාවක් ම විභේද වෙලා තියෙන ආකාරය. 
 (ඡයාරෑපය අන්තර්ජාලයෙනි.)
විභේදයක් පාෂාණ ස්ථර කෙරෙහි ඇති වන ආතතිය (පාෂාණ තලයක් පැලිලා ඒ පැළිම සිද්‍ධ වෙච්ච තැනින් ඈත් වෙනවා) හේතුවෙන් හා සම්පීඩනය ( සම්පීඩනය වීම කියන්නේ පාෂාණ තලයක් පැලී ඒ පැලීම සිදු වු ස්ථානයෙන්  ඉතා ළං වීම. ඕනවට වඩා ළං වීම නිසාත් පාෂාණයක් බිඳි යන්නට ඉඩ තිබේ.) හේතුවෙන් ඇති විය හැක.  පාෂාණයක හංගුර බව අනුව (පහසුවෙන් කැඩෙන සුළු බව අනුව) විභේදය එකිනෙකට වෙනස් වේ.

ලෝකයේ පවතින විභේදයන් ඒවා සිදු වු පසු ඒ පාෂාණ ගමන් කර ඇති දිශාව අනුව විවිධ කර හඳුනා ගනී. පහත සිතියමෙන් දැක්වෙන්නේ ලෝකයේ විභේද පිහිටි ස්ථාන. බලද්දි ලෝකේ පුරාම විභේද තියෙනවා වගේ පේනවා. මහ කඳුවැටි විහිදිලා යන බිම් දිගේ කොහොමත් මේ විභේද තියෙනවා. 
 විභේදයක් සිදුවීම සඳහා විභේද රේඛා එකක් හෝ කිහිපයක් අවශ්‍ය වේ. (විභේද රේඛාවක් යනු භූමියේ සිදුවන පැළිම් රේඛාවකි).


(ඡායාරෑපය : අන්තර්ජාලයෙනි)

පහත දැක්වෙන්නේ විභේද වර්ග කිහිපයකි.
සාමාන්‍ය විභේදය



                           http://www.physicalgeography.net/fundamentals/10l.html
           
(ඡායාරෑපය : අන්තර්ජාලයෙනි)
මෙය නිර්මාණය වන්නේ ආතතිය නිසායි. මෙහිදි පාෂාණ කොටසක් උඩු අතට (සිරස් අතට ) තල්ලු වීම හෝ යටට ගිලා බැසීම සිදුවී ඇති අතර උඩට ගිය පාෂාණ කොටස උඩු පැන්ම යනුවෙන් ද යටට ගිය පාෂාණ කොටස යටි පැන්ම වශයෙන් ද හඳුන්වනු ලබයි. මේවා මීටර ගණනේ සිට කිලෝ මීටර ගණනාවක් දක්වා දිගු විය හැක. 
ආනත විභේදය

(ඡායාරෑපය අන්තර් ජාලයෙනි.)

සාමාන්‍ය විභේදයකට ඉතාම සමාන නමුත් මෙහි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ විභේද රේඛාව ආනතව පිහිටිම ය. සමහර පොත් පත් වල මෙය සරල විභේදය වශයෙන්ම හඳුනා ගනී.
උදාහරණ:
අප්‍රිකාවේ ඩ්‍රැගන්ස්බර්ග් කඳු වැටියේ පහළ ප්‍රදේශවල දක්නට ඇත. 
ප්‍රතිවර්තිත/උඩුවත්/උඩුකුරැ විභේදය
                                        http://www.physicalgeography.net/fundamentals/10l.html


සම්පීඩනය වීම හේතුවෙන් ප්‍රතිවර්තිත/උඩුවත්/උඩුකුරැ විභේදයක් ඇති වේ . පාෂාණ ස්ථර දෙකටම ලැබෙන පීඩනය සමාන වු විට එක පාෂාණ ස්ථරයක් අනෙක මත නැඟි සිටීම නිසා ඇති වේ. උඩට ගිය කොටසේ යටින් කිසිදු ආධාරකයක් රහිතව පිහිටන හෙයින්  මෙවැනි බිම්  නාය යා හැක. 
(ඡායාරෑපය අන්තර් ජාලයෙනි.)

 
Reverse fault with drag of sediments on the up-throw side (Cape Peninsula, South Africa)  http://geologicalintroduction.baffl.co.uk
                මේ විභේද සමහර අය අධ්‍යයනය කරනු ලබන්නේ උළැඟි විභේදයේම කොටසක් / වර්ගයක් ලෙසය.


උළැඟි  විභේදය

    උඩුකුරැ විභේදයක් තවත් දැඩිව සිදු වු විට පාෂාණ සුථරය විභේද තලය ඔස්සේ ඉතා ඈතට දීවිමෙන් මෙය නිර්මාණය වේ. විභේද තලයේ ආනත කෝණය ඉතාම අඩුය. මේ අතරින් ද වැඩිම ආනත කෝණයක් සහිත උළැඟිය ලෙස ඇතමෙක් ප්‍රතිවර්තිත විභේදය (Reverse faults) හඳුනා ගනී. සංකිර්ණ නැමි ඇති ප්‍රදේශ වල පමණක් මේ උළැඟි නැමි දක්නට ලැබේ. 
                                                       (ඡායාරෑපය අන්තර් ජාලයෙනි.)
Almost horizontal thrust fault (Odeceixe, Alentejo, Portugal)   http://geologicalintroduction.baffl.co.uk
  
මෙවැනි උළැඟි විභේද  ප්‍රභේද ගණනාවක් විකිපීඩියා දක්වයි.
  • Blind thrust faults

  • Fault-bend folds

  • Fault-propagation folds

  • Thrust duplex

     

මෝආබ් විභේදය (උපුටා ගැනීම: විකිපිඩියාවෙනි.)

සුවිභේදය (ග්‍රාබන්)

                           http://www.physicalgeography.net/fundamentals/10l.html

 සුවිභේදයක් නිර්මාණය වන්නේ ඉහත රෑප සටහනේ දැක්වෙන ආකෘතියේ (1) සහ (3)  කොටස් ස්ථාවරව පවතිද්දි  (2) කොටස ගිලා බැසීමෙනි. මේ ආකාරයේ භූ රෑපයක් දක්නට ලැබිම විරල ය.
                                                   (ඡායාරෑපය අන්තර් ජාලයෙනි.)

                                Miniature Graben (Furnas, Alentejo, Portugal)   http://geologicalintroduction.baffl.co.uk

උදාහරණ:
සුප්‍රසිද්ධ රිෆට් නිම්නය මිට උදාහරණ සපයයි.


හෝස්ට් විභේදය 

                         http://www.physicalgeography.net/fundamentals/10l.html

මෙය ගිලා බැසීමක් නිසා මෙන්ම උතික්ෂිප්තයක් (එසවීමක්) නිසාද ඇති විය හැක. මෙහි රෑපයේ දැක්වෙන (2) කොටස ස්ථාවරව පවතින විට (1) හා  (3) කොටස් ගිලා බැසීම නිසා ඇති වුවක් බව ඇතෙමෙක් පිළිගන්නා අතර තවත් අය මෙහි මැද කොටස එසවීම නිසා නිර්මාණය වී ඇති බව පිළිගනී.
උදාහරණ:
එක්සත් ජනපදයේ ඌටා හා ඇරිසෝනා මේ ලක්ෂණය දැකිය හැක. එසේම ප්‍රංශයේ වොස්‍ජස් (vosges Mountains) කඳු ජර්මනියේ බ්ලැක්ෆොරස්ට් මීට උදාහරණ වේ.
සෝපාන විභේදය

        මෙය ඉතාම දුර්ලභ ගණයේ භූ රෑපයකි. මෙය ඇති වන්නේද විභේද ගණනාවක් පිය ගැට පෙළක ආකාරයෙන් සිදු වු විට ය.

   East coast, Sea of Cortez,  north of Guaymas. Chihuahua, Mexico   Mexico
උදාහරණ:
දකුණු ඇමරිකාවේ අන්දීස් කඳුවැටියේ පාමුල ප්‍රදේශයේ ද මේ ලක්ෂණ දැකිය හැක. 


බහුවිධ කුට්ටි විභේදය

විවිධ උන්නතාංශ දක්වන ගිලා බැසිම් රාශියක් මෙහි නිර්මාණය වී ඇත.අවස්ථා කිහිපයකදී විවිධ ප්‍රමාණයේ ආතතික බල ක්‍රියාත්මක වීම නිසා මෙය නිර්මාණය වී ඇතැයි විස්වාශ කෙරේ.නමුත් ඇතමෙක් මෙය විග හ කරන්නේ වරින් වර ඇති වු එසවීම් (උතික්ෂිප්තයන්) නිසා මෙය නිර්මාණය වු බවයි.
  
උදාහරණ:
                   ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය ම බහුවිධ කුට්ටි විභේදයක (උතික්ෂිප්තයක විය හැකි බව ඇතමෙකුගේ අදහස වේ) ප්‍රතිඵල වේ.
ආංශික විභේදය


                                                       (ඡායාරෑපය අන්තර් ජාලයෙනි.)

මෙවැනි විභේදයක් නිර්මාණය වන්නේ පාෂාණ තලය තනි විභේද රේඛාවකින් බෙදී එවා සමාන්තර ලෙස එකිවෙකට ප්‍රතිවිරැද්ධ දිශාවන්ට චලනය වීම නිසාවෙනි.
මේ සියලු හඳුනා ගැනීම් වලට අමතරව පශ්චිම විභේද රේඛා ලෙසින් හඳුනා ගන්නේ විවිධ නග්ණිකරණකාරක / ඛාදනකාරක (ඛාදන කාරක- සුළඟ, ගලන ජලය, ග්ලැසියර, මුහුදු තරංග ආදියට භූමියේ මතුපිට ගෙවා දැමිය හැක. ඒ නිසා ඒවා ඛාදන කාරක ලෙස හඳුන්වයි.) නිසා වෙන් වු භූමි  එසේ ඇති වු ආකාරයෙන් ම නොපැවත නැවත නැවතත් කොටස් වලට කැඩී යාම පශ්චිම විභේද රේඛා යනුවෙන් හඳුන්වනු ලැබේ. යථාපුර්ව විභේද රේඛා යනුවෙන් හඳුන්වන්නේ එසේ වෙනස් නොවු භූමි ය.
මේ විභේද සම්බන්ධව ගොඩනැ‍ඟෙන ප්‍රධාන තර්කයක් වන්නේ මේවා කියන හැටියට ගිලා නොබැස පාෂාණ කොටසක් එසවීම නිසා සිද්ධ උනා කියලා කියන එක.  මේ දෙකම බැහැර කළ හැකි මත නොවේ. 



මේ ලිපිය දිගු වැඩියි. ඒත් කොටස් කරලා දාන්න ගිහාම අධ්‍යාපනික අරමුණකින් මේ තොරතුරැ හොයන යම් කෙනෙකුට අපහසු විය හැකියි. නමුත් විභේද කිහිපයක් ගැන තොරතුරැ තවත් ඉතිරි වී තිබෙනවා. ඉදිරි දිනයක උළැඟි විභේද නමින් ලිපියක් ලියා ලින්ක් එකක් මේ ලිපියේ අමුණා තබන්නම්.



*මෙහි පලවන ඡායාරෑප අන්තර්ජාලයෙන් ලබා ගත් ඒවා වන අතර හුදෙක් දැනුම බෙදා ගැනීමේ චේතනාවෙන් ලබා ගත් ඒවා වේ. ඡායාරෑප වල අයිතිය එහි අයිතිකරැවන් සතු වේ.



Monday, October 6, 2014

ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පරිණාමය / සැකැස්ම පිළිබද ඉදිරිපත්ව ඇති විවිධ අදහස් කිහිපයක්.



          ශ්‍රී ලංකාව ඉතාම පැරණි භූ ස්කන්ධයක් වේ. ශ්‍රී ලංකාව නුතනයේ අයත් වන්නේ ඉන්දු-ඕස්ට්‍රේලියානු තැටියට ය. (2006 දැවැන්ත සුනාමිය සමඟ මේ තැටිය දෙකඩ වෙමින් තිබෙන බව භූ විද්‍යාඥයන්ගේ අදහස වේ.)  නමුත් ලංකාවේ ඉතිහාසය වේග්නර්ගේ ඒකීය මහද්වීපයේ පැංජියාව නම් භූ ස්කන්ධය බිඳී ගොඩ්වානාලන්තය බිහිවීම දක්වා ඈතට විහිදේ. විශේෂයෙන්ම ගොඩ්වානාලන්තය බිහිවන අවස්ථාවේදීත් ලංකාව ඒ හා බැඳි, ඒ මත පිහිටි භූමියක් විය. පසුව සිදු ක්‍රියාවලි සමඟ එය බිඳි පාවි අද පවතින තත්ත්වයට පත්ව තිබේ. 20 වන සියවසයේ මුල් කාලය වන විට ශ්‍රී ලංකාවේ භූ උපත පිළිබඳ විවධ අදහස් ඉදිරිපත් වන්නට විය. එසේ අදහස් ඉදිරිපත් කළ අය අතර ආනන්ද කුමාරස්වාමී, ෆ්‍රෑන්ක් ඩෝසන් ඇඩම්ස්, ඩී.එන්. වාඩියා, කුලරත්තම්, විතානගේ  වැනි අය අදහස් ඉදිරිපත් කරන ලදී.

ඇඩම්ස් ගේ මතය:

මේ ඉන්නේ ඇඩම්ස් මහතා

ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පරිණාමය පිළිබඳ අදහසක් මුල් වරට ප්‍රකාශ කරන ලද්දේ ආනන්ද කුමාරස්වාමි විසිනි. ඔහු විසිවන ශත වර්ශයේ මුල් භාගයේ දී සිය අදහස ඉදිරිපත් කළත් විධිමත් අධ්‍යයනයක් හා බැඳි අදහසක් මුල් වරට ඉදිරිපත් කරන ලද්දේ ඛනිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක‍ ධුරයේ සිටි කැනේඩියානු ජාතික ෆ්‍රෑන්ක් ඩෝසන් ඇඩම්ස් (Frank Dosan Adames) මහතා විසිනි. ශ්‍රී ලංකාවේ හරස්කඩක් නිරන්තර පරීක්ෂණයට ලක් කරමින් ද  ලංකාවේ බොහෝ ප්‍රදේශ වල අධ්‍යයනයන්ගේ නිරත වී 1929  දී  ‘ශ්‍රී ලංකාවේ භූ විද්‍යාව’ (Geology of Ceylon) නමින් ලිපියක් සකස් කරන ලදී.
 එහිදි ඔහු ලංකාවේ එකිනෙකාගෙන් පැහැදිලි ලෙස වෙන් වන ඒවාට ආවේනික උසකින් යුතු සෝපාන (Rock Terrece) ආකාරයේ අඩතැනි 3 ක් දැකිය හැකි බව සඳහන් කොට ඇත. අඩතැන්නක් වශයෙන් හඳුනා ගන්නේ භූ විද්‍යාත්මක ඛාදන චක්‍රයේ අවසාන අවස්ථාවේ  තිබෙන භූ දර්ශනයකි. (එනම් සුළඟ, වැස්ස, ගලන ජලය ආදීය මඟින් මගේ දේශයේ මුල් කාලයේ ඇතිවු භූමි දර්ශනයන්  බොහෝ කාලයක් තිස්සේ ගෙවා දමා, දැන්; අර කී මුල් කාලීන භූ දර්ශනයන් පරිණාමයේ අවසන් අදියරයන් කරා ගෙනවිත් ඇත. )
ඕනෑම උස් භූමියක් ඛාදනයෙන් මෙවැනි අඩතැනි බවට පත් කරනු ලබන පොදු ගුණයක් ඛාදන චක්‍රයේ  පවතී. මෙසේ ඇඩම්ස් හඳුනා ගත්  අඩතැනි 3 වන්නේ;
පළමුවන අඩතැන්න: පහළ අඩතැන්න වශයෙන්ද හඳුනා ගනී. දිවයිනේ වෙරළබඩ තැන්න හා පහත් තැනිතලා පහළම අඩතැන්න වශයෙන් ඇඩම්ස් හඳුනා ගනී. සාමාන්‍ය උස මුහුදු මට්ටමේ සිට අඩි 100 ක් පමණ උපරිමයක් දක්වා විහිදෙන තැනිතලා බිමකි.
දෙවන අඩතැන්න: මධ්‍යම අඩතැන්න වශයෙන්ද හඳුනා ගනී දිවයිනේ අභ්‍යන්තර තැන්න ය. පහළ අඩතැන්නේ සිට අඩි 1000 ක් පමණ උසින් යුතු භූමි ප්‍රමාණයක් අයත් වේ.
තුන්වන අඩතැන්න:  ඉහළ අඩතැන්න වශයෙන්ද හඳුනා ගන්නා මේ අඩතැන්න ශ්‍රී ලංකාවේ කඳුකරයයි. ඇඩම්ස් ගේ අදහසට අනුව පැරණිම අඩතැන්න මෙයයි. මධ්‍යම අඩතැන්නේ සිට අඩි 5000 ක් 8000 ක් පමණ උසට විහිදේ.
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකා භූ ඉතිහාසය පුරා වරින් වර උතික්ෂිප්තයන්ට (ඉහළ නැඟිම් වලට) බඳුන් වු බිමක් බව ඇඩම්ස්ගේ අදහස විය.මේ උස් භූමිය වසර දහස් ගණනක් තිස්සේ නග්නිකරණයට (ඛාදනය වීම් වලට) හසුවී අඩතැනි  හා අද පවතින භූ දර්ශනය නිර්මාණය කර ඇති බවත් අදටත් දක්නට ලැබෙන දළ/මොහොර බෑවුම් (ඉන් අදහස් වන්නේ ප්‍රපාතාකාර බව වැඩි බෑවුම්ය ලෝකාන්තයේ ඇත්තේ මෙවැනි ප්‍රපාතාකාර බවකි.) වල දක්නට ලැබෙන ප්‍රතිරෝධක (ඛාදනයට ප්‍රති‍රෝධක වීම- ‍ඛාදනයට ලක් නොවීම) පාෂාණ නිසා සැකසි ඇති බවත් මෙම අදහසින් තවදුරත් ප්‍රකාශිතය.
 

ඇඩම්ස්ගේ මතයේ අන්තර්ගතයේ සාරාංශයක් ගෙන බලන්නේ නම් ඔහු ගේ අදහසට අනුව ලංකාවේ මධ්‍යම කඳුකර භූමිය කළක් තිස්සේ පැවත තිබේ.  පෘථිවියේ විවිධ ක්‍රියාවලින්ට අනුව යමින් කලකදී මධ්‍යම කඳුකරය ඔසවාගෙන අභ්‍යන්තර තැන්න නිර්මාණය වී ඇත. කළක් මේ දෙක පැවත තිබෙන අතර පසුව මේ පාෂාණ තල දෙකම ඔසවා ගෙන වෙරළබඩ තැන්න නිර්මාණය වී ඇත.




වාඩියාගේ මතය:


 මේ ඉන්නේ වාඩියා මහතා


ඇඩම්ස් ට පසුව ලංකාවේ ඛණිජ විද්‍යා දෙපාර්තමේනතුවේ නව අධ්‍යක්ෂක ධුරයට පත්වුයේ ඩී.එන් වාඩියා (Darashaw Nosherwan Wadia) ය. ඔහු  1941 දී ඇඩම්ස් ප්‍රකාශ කළ මතයට විරැද්ධ වු අදහසක් ලංකාවේ සැකැස්ම පිළිබඳව ඉදිරිපත් කරන ලදී.
කෙසේ වුවත් වාඩියාත් ලංකාවේ අඩතැනි තුනක් දක්නට ලැබෙන බව පිළිගන්නා ලදී. නමුත් මේ අඩතැනි වෙන් කරනු ලබන ලක්ෂණයන් හට ගත්තේ නග්ණිකරණය හේතුවෙන් නොව  කුට්ටි උතික්ෂිප්තයෙන් (Circumscribe Block Uplift) ඇති වු විභේදයන්ගෙන් බව ඔහුගේ අදහස විය.
          එසේම වාඩියා පැහැදිලි කරන ආකාරයට මධ්‍යම කඳුකරය ඇති වී තිබෙන්නේ හෙමින් ‍නොකඩවා සිදුවු සිරස් උතික්ෂිප්තයන් නිසා නොව ජුරාසික නම් භු යුගයේ සිට තෙවතාවකදී සිදු වු  කුට්ටි උතික්ෂිපතයන් හේතුවෙනි. මේ සිද්ධි සමඟ ඉන්දියාවේ නිල්ගිරි නම් වු කඳු ඇතිවීමේ සිද්ධියද ඔහු එකට සම්බන්ධ කරන ලදී. 

          වාඩියාට අනුව පැරණිම භූමිය මධ්‍යම කඳුකරය නොවේ. ඔහුට අනුව පැරණිම භූමිය වන්නේ වෙරළබඩ අඩතැන්න ය. ජල (ගංගා) ඛාදනය භූගෝල විද්‍යා ආදි විශයන් හඳුනා ගන්නේ සාමාන්‍ය ඛාදනය ලෙසයි. මේ ගංගා ඛාදන චක්‍රයේ ඉතාම පැරණි භූ ලක්ෂණ දක්නට ලැබෙන්නේ මධ්‍යම කඳුකරයේ නොවේ. මධ්‍යම කඳුකරයේ දක්නට ලැබෙන්නේ ඉතාම යෞවන අවස්ථාවේ තිබෙන භූ රූපයන් ය. මෙවැනි පැරණි ම ඛාදන අවස්ථා දක්නට ලැබෙන්නේ වෙරළබඩ අඩතැන්නේ යි. මේ හේතුවෙන් ලංකාවේ වඩාත් පැරණිම භූ ස්කන්ධය වන්නේ වෙරළබඩ තැන්න ය. ඒ අනුව ඔහු ප්‍රකාශ කළ ආකාරයට ජුරාසික අවදියේ දී වෙරළබඩ තැන්න සාගරයෙන් මතුව තිබේ. දෙවන අඩතැන්න මයෝසීන යුගයේ දී වෙරළබඩ තැන්න සහිත භූමිය තුළින් කුට්ටියක් වශයෙන් උතික්ෂිප්ත වී ඇත. අවසානයට මධ්‍යයම කඳුකරය ප්ලයොස්ටෝසීන යුගයේ දී උතික්ෂිප්ත විය.

          ලෙයිටර්ගේ මතය:

          1946 දී ලෙයිටර් ලංකා විද්‍යාභිවර්ධන සංගමයට ඉදිරිපත් කළ ‘ලංකාවේ මධ්‍යම කඳුකරයේ ජලවහන රටාව හා නග්නිකරණය ක්‍රියාවලිය’ යන ලිපියෙන් ශ්‍රී ලංකාවේ භූ විශමතා පරිණාමය පිළිබඳ නව අදහසක් පලකරන ලදී. ඔහුත් ලංකාවේ අඩතැනි තුනක් තිඩබන බව පුකාශ කරන ලදී. නමුත් ඔහුට අනුව එවා නිර්මාණය වුයේ ඛාදනය හේතුවෙනි. විවිධ ඛාදිත මට්ටම් වලදී ඒ ඒ ඛාදනයන් වල ක්‍රියාකාරීත්වය අවහිර වීම හේතුවෙන් ඒ අවහිර වු ප්‍රදේශයේ පමණක් ඒ ප්‍රදේශයට ආවේනික පරිණාමයක් සිදුව ඇත. මෙය භූගෝල විද්‍යාවේ දී හඳුනා ගන්නේ අපචක්‍රය ලෙසයි.
          ඔහු මේ බව සනාථ කිරීමට දිවයිනේ පිහිටි අපචක්‍ර ගණනාවක්ම පෙන්වා දී ඇත. ඔහු කී ආකාරයට මහනුවර සානුවේ සාමාන්‍ය උස අඩි 1000 ක් පමණ වන අතර අලගල්ල (3390), කඩුගන්නාව (3000),  මැණික්දිවෙල (2000), හන්තාන (4000), අලවතුගොඩ හා දුම්බර ප්‍රදේශ (2000), හුන්නස්ගිරිය (1000), ආදි බිම්; විවිධ උසකින් යුතු වන්නේ මේ අපචක්‍ර නිසා බව ලෙයිටර්ගේ අදහසයි.
          ලෙයිටර් සිය මතය සනාථ කිරීමට ශ්‍රී ලංකාවේ ජලවහන රටාව ද උදාහරණයට ගෙන ඇත. ඔහු පැහැදිලි කරන ආකාරයට ලංකාවේ තිබිය යුතු වන්නේ අරීය ( Radial)  ජල වහන රටාවකි. නමුත් මේ වන විට පිහිටන්නේ ශාඛීය ජලවහන රටාවකි. ( මෙය නිවැරදි කිරීමකි: ලෙයිටර් ගේ මතය විසින් මේ සාකච්ඡා කරනුයේ ප්‍රාදේශිය ජලවහනය පිළිබඳව ය.) මෙසේ ජලවහන රටාව වෙනස්ව ඇත්තේ ද විවිධ භෞත්ක අවහිර වීම් එනම් අපචක්‍ර හේතුවෙනි. සාමාන්‍යයෙන් ජලවහන රටාවක් (A drainage pattern) දක්නට ලැබෙන ආකාර කිහිපයක් ඇත. ඒවා මුලික වශයෙන් සකස් වන්නේ ප්‍රධාන ගඟට අතු ගංගා එකතු වන ආකාරයෙනි.

  මුල් අයිතිකරැවන්:  http://alpha.sd41.bc.ca/depts/socials/Geog/ae.htm

01.  අරිය( Radial) ජල වහනය.
කඳුකර ප්‍රදේශයෙන් ආරම්භ වී විවිධ දිශාවන්ට ගලන ගංගා විසින් මේ ජලවහන රටාව නිර්මාණය කෙරේ.
02.  ශාකීය (dendritic) ජලවහනය.
ප්‍රධාන ගංගාවට අතුගංගා එකතු වන්නේ ගසක අතු ඉති විහිදි ඇති ආකාරයට නම් ඒ ශාකිය ජලවහනය යි.
http://en.openei.org/w/index.php?title=File:Slmetst_224.pdf&page=1
   
          ලංකාවේ මහවැලි ගඟ ඇරැණාම අනෙක් ගංගා සියල්ල ගලා යන්නේ මේ වගේ හැඩතලයක් මවමින් ( නිවැරදි කිරීමයි: ප්‍රාදේශීය වශයෙන් මෙවැනි (එනම් ශාඛිය) රටාවක් දක්නට ලැබුනත් සමස්ත ජලවහන රටාව පොදුවේ බලන විට අරීය ජලවහන රටාවක් ගනී). මහවැලි ගඟ ගලන්නේ විභේද රේඛාවක් දිගේ නිසා එයාගේ හැඩය සුවිශේෂීයි. (මේ ලංකාවේ පිංතුරයක් නොවේ.) කොහොම උනත් ගඟක් ගලන මඟ හරි සුන්දරයි ඒකේ ගලන රටාව අධ්‍යයන කරද්දි දැනෙන කෘතීම බවට වඩා. හැම  ජලධාරාවක්ම කියන්නේ  ඒයාලාගේම කතාවක්. ඒත් අධ්‍යයන පහසුවට මේ වගේ ගංගා ගලද්දී ඒකට ශාඛීය කියලා කියනවා .


මේ මතයන්ට විරැද්ධව / තවත් දේ එකතු කරන / වෙනස්ම අදහස් පලකරන  පසුකා‍ලයේ ඉදිරිපත් වු අදහස් කිහිපයක් ඊළඟ ලිපියෙන් පැහැදිලි කරන්නයි බලාපොරොත්තුව...


පහත තියෙන සේරම පොත් මට කියවන්න නොලැබුනත් කියවන්න ඉතාම වටිනා පොත්:
  • ලංකාවේ මුහුණුවර සැලැස්ම - කේ. කුලරත්නම් - ලංකා විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා සඟරාව - 1953
  • ලංකාවේ භූ විද්‍යාව - පී.ජී.කුරේ -1967
  • ලංකා භූගෝල විද්‍යාව - එල්සි කුක් - 1931
  • ලංකාවේ මධ්‍යම කඳුකරයේ ජලවහන රටාව හා නග්ණීකරණ ක්‍රියාවලිය. - එන්. ලෙයිටර් - 1946
  • ශ්‍රී ලංකාවේ භෞතික පදනම - සාරානාත් රළපනාව - (1980)
  • විශ්වයේ හා පොළවේ පරිණාමය - මහාචාර්යය ජී.ඩබ්ලිව්. විතානගේ (1995)
  • අසිරිමත් හොර්ටන් තැන්න - එල්. පී. විජේරත්න - (2004)

          මේ  පොත් / අදහස් ඇසුරැ කරන් තමා ලංකාවේ භූ විද්‍යාත්මක පරිණාමය ගැන කතා කරන කවුරැත් තමන්ගේ අදහස ප්‍රකාශ කරන්නේ.