Monday, December 22, 2014

අපි දියකිදුරන් වේවී ද?




       මානව සංහතියේ වර්ධනය වීම වර්ග කිලෝමීටර 550 ක් වෙච්චි පෘථිවි‍ ගෝලය දරා ගන්නේ අමාරුවෙන්. මානව ජනගහණය බිලියන 7ඉක්මවා ගියේ පසුගිය ඔක්තෝම්බරයේ කියලා තමා බෝහෝ අය සිතන්නේ. අපව දරා ගන්න මේ පෘථිවියට පුළුවන් වේවි  ද කියන කරුණ විද්වතුන්ගේ අවධානයට පාත්‍ර උනේ කාලේකට කළින්. නමුත් මේ ඇගේ උපරිමය නොවේ. අපි කැමති නෑ මේ උපරිම අවස්ථාව දැන්ම ගන්න. ඒක නිසා අපි අපේ ගහණ ඝනත්වය ටිකක් පාලනය කරනවා. පාලනේ හොද කම කියන්නේ චීනෙයි ඉන්දියාවෙයි තිබුණු අර ගැහැනු ජනසංඛ්‍යාව අඩු වීමේ ගැටළුව ලංකාවටත් ඇවිල්ලා ලු. ඒක නම් කථා කරන්න ම වටින මාතෘකාවක්. එත් දැන් මේ කියන්න ඕන කරලා තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක් නේ.


ජනගහණය පාලනය කියන්නේ ලේසි දෙයක් නොවේ. ඉන්දියාව වගේ රටවල  විතරක් නෙවේ අපේ රටේ පවා ඈත ගම්වල සංස්කෘතිය තදින්  ඇළුම් කරන මිනිස්සු දරැවෝ හදන්න එපා ඒක රටට ලෝකේට බරක් කිව්වොත් ඒක පිළිගන්න සුදානම් නෑ. මේ දේ තේරැම් ගන්න මිනිස්සුන්ට කාලය අවශ්‍යයයි.
          ඉතිං අපේ ජනසංඛ්‍යාවේ අධික බව නිසා මිනිස් භූමි අනුපාතය එන්න එන්න සීමා සහිත වනවා. අපේ මිනිස්සු පෘථිවියෙන් 70 % කට වඩා ඉඩකඩ තියෙන මුහුද ගැන හිතන්න ඇත්තේ ඒකයි.


මේ රූපෙන් පෙන්නේ මාලදිවයිනේ කුණු එකතු කරලා හදන දුපත. මේ දුපත මිනිසා පරිසරයට තමන්ගේ ආධිපත්‍ය පෙන්වන අවස්ථාවක්. කුණු වලින් හැදුවට මොකද මේ දුපත් ගඳ ගහන්නේ නෑ ඒවා ශක්තිමත්. ඉදිකිරීම් පවා කළ හැකියි. අනෙක් අතට අපේ රටෙත් මුහුදින් අක්කර ගණනාවක් මේ වෙනකොට ගොඩ කරමින් පවතිනවා.
ඒක හොද විසදුමක් තමා. අපට ජීවත් වෙන්න අපේ ග්‍රහ ලෝකය තරම් වෙන හොද තැනක් හොයනවාට වඩා මේක හොදා.  මං අහලා තියෙනවා ඔය හිපොපටේමස් කියන සතා ඕක මිනිස්සුන්ට  කලින් තේරුම්  ගත්ත එක සත්ත්වයෙක්. ඒ වගේ ම ඉස්සර හිටපු ගොඩක් දැවැන්තයෝ තමාගේ අධික බරැ’ති සිරුර උස්සාගෙන ඉන්න බැරි හංදා ජලයේ ඉන්න පුරුදු වෙලා පස්සේ පරිණාමයත් එක්ක එයාලා උභය ජීවින් වෙලා පස්සේ ජලජ ජීවින් උනාලු.
එක එහෙම නම් අපිටත් නාන තටාකෙන් මහ මුහුදට වැටුණු බාගයක් මාළු භාගයක් මිනිස් වෙච්ච දියකිදුරෙක් වෙන්න වේවී ද?


මුහුද ගොඩ කරලා සවුදියේ අය හෝටල් හදනවා. මාලදිවයිනෙත් සිංගප්පුරුවෙත් ඕස්ට්‍රෙලියාවෙත් මෙවැනි මුහුද මත හා මුහුදේ අභ්‍යන්තර ජල උද්‍යාන තියෙනවා. වැඩේ ලස්සනයි.
 






  
අන්තිමට මිනිස්සු කවදා හරි මුහුදේ ජිවත් වෙන්න ඉගෙන ගනීවි. එයාලාගේ ළමයිට කියයි මෙහෙම. අපේ මුතුන් මිත්තෝ හිටියේ ජලයේ නෙවේ. එයාලා මහ පුදුම වැඩ ගොඩබිමේ දී කළ දියුණු ජාතියක්. ඒ අය පොළව උඩ වතුර නැති තැන් වල නගර හදාගෙන ජීවත් වෙලා තියෙනවා.
එතකොට කොහේ හරි ඉන්න පණ්ඩිත කට්ටියක් කියාවි, මුන්ට පිස්සු. වතුරෙන් පිට අපට එක විනාඩියක් ඉන්න බෑ. එහෙව් අපේ මුත්තලා කිරිකිත්තලා ගොඩට ගිහින් එහේ නගර හදාලාලු. පට්ට පල් බොරුවක්. ඉතිහාසෙට සුදු හුණු ගානවා කියලා කියයි. ගොඩක් අය රාවණා රජුගේ ඉතිහාසෙට ගහන අර ලොකු ගල් ටික එදාටත් තියේවි.
අපිට අපේ ඉතිහාස කතා වගේ ම එයාලාටත් එයාලාගේ ඉතිහාස කතාව පිළිගන්න බැරි වෙන තරමට අපි වෙනස් වෙන දවසකුත් ඒවිද මන්දා?
දැනට මේක ෆැන්ටසියක් විතරයි. ඒත් නාඋරු දුපත වගේ දුපත් වලින් හැදුණු මයික්‍රෝනීසියාව තමන්ගේ දුපත් ඉහළ යන සමුද්‍ර ජල මට්ටමට යටවෙලා ගියොත් ඉන්න කියලා කෘතීම දුපත් හදන්න සියළු වැඩ කටයුතු ලෑස්ති කරලා ඉවරයි. ටිටිකාකා විලේ ඉන්නවා තමන්ගේ නිජ භූමි අහිමි වීම නිසා විලේ පාරු මත ජිවත්වෙන මිනිසුන් කොටසක්. එයාලාගේ සංස්කෘතිය හරි පුදුමයි. විලේ හැදෙන බට ගස් වලින් පාරු හදාගෙන ඒවා මත ජීවත් වෙන ඒ බට වලින් ම ආහාර හදා ගෙන විලේ මාළුත් එක්ක ආහාරයට ගන්න තමන්ගේ සකල විධ උවමනාවන් ඒ විලෙනුයි බට වලිනුයි ඉෂ්ඨ කරගන්න මිනිස්සු ගෙවන ජීවිතය ගැන මට නම් පුදුමයි.
වසර දහස් ගණනක් තිස්සේ නෙදර්ලන්තය වගේ රටවල් මුහුද ගොඩ කර කර බිම වගා කරගන්නවා. නෙදර්ලන්තය කියන විදිහට එයාලාගේ අගනුවර වෙන ඇම්ස්ටර්ඩෑම් සම්පුර්ණයෙන් ම ගොඩනගලා තියෙන්නේ මුහුද ගොඩ කරපු තැනක ලු.
මේ වෙනකොට අන්තර්ජාලයේ තියෙනවා කෘතීම දුපත් පිළිබඳ ආකෘති ඕන තරම්. ඒකෙන් පේන්නේ ග්‍රැෆික් නිර්මාණකරැවන්ටත් මේ දුපත් කතාව දැනිලා තියෙනවා. පහතින් තියෙන්නේ ඒ වගේ නිර්මාණ දෙකක්. 




මීට කාලෙකට කලින් අන්තර්ජාලේ තිබුණා නිවාස සැලසුම්. දැන් නම් ඒවා වැහි වැහැලා. දැන් ටික ටික තියෙනවා කෘතීම දුපත් පිළිබද සැළසුම්. ඉතින් මං හිතන්නේ තව ටික කාලකෙන් මිනිස්සු ඉඩම් බලන්නේ මුහුදේ. මුහුදින් හොද තැනක් බලලා වෙන් කරගෙන එයාලා එයාලාගේ ම දුපතක් පොඩියට හදාගෙන ජීවත් වේවි. පුද්ගලිකත්වය, නිදහස වගේ දේවල් ඕන තරම්. වයසක අය කිහිපදෙනෙක් එක දුපතක පවුල් කිහිපයක් වශයෙන් ජීවත් වේවි. අපේ රටේ වගේ අය නැදැයින් මිතුරන් එක්ක එක දුපතක ඉදීවි. තරැණ අය පෝසත් අය තනි තනිව ඉදිවි.
ලෝකේ හැටි. දිය කිඳුරන් නොවී ඉන්න නම් මේ දුපත් හදන එක ඇත්තක් වෙන්න ඕන. ඒත් ඒ හදන ඒවා සදාකාලික නෑ. අපේ මහ පොළව වගේ ඒවා ස්ථාවර නැ. අපි අපේ බිම අහිමි උනාම තාවකාලික ලැගුම් පොළක් විදිහට මේවා භාවිතා කරයි. පස්සේ  උරගයන් වගේ දියයි ගොඩයි ඉන්න සිද්ධ වේවි. අනික දුපතක් හදා ගන්න බැරි අය, වත්කමක් නැති අය මේ තත්ත්වෙට ඉක්මනින් වැටේවි කියලා අනුමාන කරන්න පුළුවන්.
මට හොඳට ම විශ්වාසයි අර වඳුරා; පරිණාමයේ ඈත දවසක දී අපේ මුල් පුරුක උන ඒ වඳුරා කවමදාකවත් හිතන්න නැතුව ඇති ‘අනේ මං මේ වගේ ලොම් හැලිච්ච බිම දිගේ දුවන සතෙක් වේවි ද’ කියලා. ඉතිං අපි කවදා හරි දියකිඳුරන් වේවි ද මංදා. පීනන්න දන්නේ නැති නාන්න අකමැති සුවහසක් දෙනා වෙනුවෙනුත් මගේ පොළවට මං ගොඩක් ආදරේ නිසාත්  මං තුන් හිතින් ම පතනවා ‘අපිට එහෙම නොවේවා’ කියලා. 


මේ ලිපිය ලියන්න හේතු උනේ මෙන්න මේ ලිපියයි.

Sunday, December 14, 2014

නැමි කඳු භූ රෑපණය අනුව වර්ග කිරීම:



02. කොටස
පළවෙනි කොටස කියවන්න ලින්ක් එක.


 (ඡායාරෑපය අන්තර්ජාලයෙනි. the Lower Ugab valley in Namibia)

මේ රෑපයෙන් පැහැදිලි වන ආකාරයේ සැබෑ  නැමිමක් මතු පිට සිට බලන්නෙකු දැක ගන්නේ කලාතුරකිනි. එවැනි එක් අවස්ථාවක් මෙහි ප්‍රථමයෙන් දක්වා ඇති රෑ‍පයෙන් දැක් වේ. බොහෝ විට අප ඇවිද යන භූමිය අභ්‍යන්තරයේ නැමි තිබිය හැක. නමුත් අපට ඒවා දැකිය නොහැක. ඒවා දැක ගත හැකි වන්නේ ඒ පස් ස්ථරය හරහා කැපුමක් යෙදු විටක  වැනි අවස්ථාවක ය.
 
මේවායේ නැමි අක්ෂය වෙනස් වීම විශේෂ අවධානයට ලක්විය යුතුවේ. පහත රෑපයෙන් පෙන්වන්නේ නැමි අක්ෂයේ පිහිටීම ය. මන්ද යත් පාෂාණය නැවෙන්නේ මේ නැමි අක්ෂය මුලික කරගෙනය. බොහෝ විට අධ්‍යයන පහසුව තකා භූ රෑප හඳුනා ගන්නේ ද නැමි අක්ෂයේ ක්‍රියා කාරීත්වය අනුව වේ. පහත රෑපය හොඳින් අධ්‍යනය කරන්නේ නම් ලා නිල් පැහැයෙන් දැක්වෙන නැමි අක්ෂය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක. එසේම භූ රෑපයන්හි නැමි පිළිබඳ පැහැදි කරන පහත සටහන් වල රතු පැහැයෙන් දක්වා ඇත්තේ ද නැමි අක්ෂය යි.

නැමි වර්ග රාශියක් දක්නට ලැබේ. මේ අතුරෙන් කිහිපයක් පමණක් මෙහි ලා සළකා බලා ඇත. විවිධ විභාග සඳහා භූ රෑප ඇඳ දක්වන විට කාලය ඉතිරි කරගෙන රෑපය ඉතා හොඳින් පැහැදිලි වන ආකාරයට ඇඳ පෙන්විය හැකි ක්‍රමයක් වන්නේ එම භූ රෑප ද්විමානව ඉදිරිපත් කිරීමය.

නැමි කඳු භූ රෑපණය අනුව වර්ග කිරීම: (අවසාදිත ස්ථර ඇසුරින් පැහැදිලි කර ඇත.) ද්වීමාන රෑප සටහන් මා විසින් ඇඳ ඇති අතර ත්‍රිමාණ ඒවා අන්තර්ජාලයෙනි.

සමමිතික නැම්ම.(සාමාන්‍ය නැමි, ) (Symmetrical fold)


දෙපසින් ලැබෙන පීඩන බලයන් සමාන වු විට සහ පාෂාණ ස්ථරයන්ගේ ඒකීයත්වයක් ඇති වු විට මේ බඳු භූ රෑපයක් සෑදේ. නැමි අක්ෂයන්ගේ දෙපස සෑදෙන බෑවුම් කෝණ වල සමාන බවක් දැකිය හැකි නිසා සමමිතික බෑවුම් යන්න යෙදේ. ද්විමාන වර්ණ රැපය දක්වන්න‍නේ සමමිතික උඩු නැම්මකි. එය යටි නැම්මක වුවද පිහිටිය හැක.
          උදාහරණ:- හිමාලය කඳුවැටියේ උසින් අඩු සිවලින් කඳු

 අසමමිතික නැමි.(Asymmetrical fold)

(රෑපය: කතුවරිය විසින් අදහස පැහැදිලි කිරීමට අඳින ලද්දකි)

නිර්මාණය වීමෙදී වෙනස් ප්‍රතිරෝධකතා සහිත පාෂාණ ස්ථර නැවිමෙන් මේවා සෑදේ. දෙපසින් ලැබෙන පීඩනයේ අසමානතාවය හා පාෂාණ ස්ථරයන්ගේ අසමාන බව නිසා එක් පැත්තක පීඩනයට වඩා අනෙක් පැත්තේ පීඩනය අඩු හෝ වැඩි එකක් විය හැක. එවිට සෑදෙන භූ රෑපයේ බාහු වල අසමාන බවක් දැකිය හැකි වීම විශේෂය යි. එනම් නැම්මේ එක් අංශයක් අනෙකට වඩා බෑවුම් සහිත ය. උදාහරණ:- එංගලන්තයේ පෙනයින් කඳු (රෑපයෙන් දැක්වෙන්නේ වෙනත් ස්ථානයකි)

(ඡායාරෑපය අන්තර්ජාලයෙනි. )
         
සමානති නැමි. (Isoclinals fold) 


මෙම භූ රෑපය නිර්මාණය වන පාෂාණ ස්ථරයන් සමාන වේ.
 උදාහරණ:- හිමාලය ආශ්‍රීත සිවලින් කඳු (පහත රෑපයෙන් දැක්වෙන්නේ වෙනත් ස්ථානයකි)

(ඡායාරෑපය අන්තර්ජාලයෙනි. )

ඔත් නැම්ම, සැතපුන නැම්ම (Recumbent fold) 


ඔත් නැම්මක් සැතපුන නැම්මක් ලෙසද හඳුන්වයි. එක් පැත්තක පීඩන බලය අනෙක් පැත්තේ පීඩන බලයට වඩා අතිශයින් වැඩි වු විට නැමි අක්ෂය ද බෑවුම් කරමින් උඩු බාහුව යටි බාහුව මත පිහිටන සේ සකස් වේ.
          උදාහරණ:-ඇලිප්ස් කඳුවැටියේ  මේ ලක්ෂණ දැකිය හැක.

ඒකානති නැමි. (Monoclinefold

මෙය ආකාර කිහිපයකින් නිර්මාණය විය හැක. එක්තරා ආකාරයකට විභෙදයක් සේ ද සැලකිය හැකි මෙය නිර්මාණය වන්නේ නැමි අක්ෂය අසලින් පාෂාණය බිඳිමෙනි. නමුත් නැපියක් සේ විශාල බලයක් මෙයට හේතු නොවන නිසා මෙහි මතුපිට පාෂාණ ස්ථරය එතරම් දුරකට යන්නේ නැත.  මෙහි පහළ තිබෙන ස්ථර තියුණු අවපාතයක් හෝ පොළවට සමාන්තරව විහිදෙන, මෘදු බෑවුමක් සහිත ආකාරයට  සමන්විත වේ. අභ්‍යන්තරික පාෂාණ තට්ටු වෙනස් බල මඟින් සම්පීඩනය වීම හේතුවෙන් නිර්මාණය වේ.

(ඡායාරෑපය: විකිපීඩියාවෙනි. ස්ථානය: Colorado National Monument)

උදාහරණ:- ග්‍රෑන්ඩ් කැනියොන් ප්‍රදේශය - ඇරිසෝනා- USA

                   බ්ලු මවුන්ටන් - ඕස්ට්‍රේලියාව

                   කොළරාඩෝ උද්‍යානය - USA


උලැඟි නැම්ම, නැපිය  (Nappe fold) 


ඔත් නැම්මක හෝ ඒකානති නැම්මක උඩ පිහිටි බාහුව මතට වැඩි පීඩනයක් ඇති වු විට එය යට කොටසට වඩා ඉදියට තල්ලු වී යා හැක. මෙසේ තල්ලු වන කොටස උලැඟිවීම සිදුවු ස්ථානයෙන් කිලෝමීටර ගණනාවක් ඈත තැම්පත් වී තිබිය හැක. එවිට ඒවා එකවරම හඳුනා ගැනීම අපහසු වේ. අයෙකුට මෙය සම්පීඩනය නිසා ඇතිවන විභෙද අවස්ථාවක් සේ වුවත් සැලකිය හැකි නමුදු මෙය නිර්මාණය වන්නේ නැමි කඳු නිර්මාණය වන ආකාරයට ම බැවින් හා විභේද වීම ඒ පාෂාණ ස්ථරයන්ගේ දරා ගැනීමේ හැකියාවට වඩා වැඩි වීම හේතුවෙන් නිර්මාණය වන නිසා මෙය බොහෝ අය සලකන්නේ නැමි කන්දක් ලෙස ය(1). කෙසේ වුවත් මේ වැනි සංකීර්ණ නැමි ලෝකයේ ඉතාම විරල වේ. උපරිපතනය, අතිව්‍යාප්ත ව්‍යුහය යනුවෙන්ද මෙම භූ රෑපය හැදින් වේ. නමුත් මේවා කුඩා පරිමාණයෙන් කඳුවල දැකිය හැකි යැයි ඇතැම්හු අදහස් කරති.
          උදාහරණ:- ස්කොට්ලන්තයේ වයඹ දිග කඳු අතර මේ ලක්ෂණ දැකිය හැක. එමෙන් ම යුරෝපයේ මධ්‍යම ඇල්ප්ස් වලද, නැගෙනහිර රොකී කඳු වල දැකිය හැකිය(2)


උඩු හා යටි නැමි මඩුල්ල . (සහනති මඩුල්ල  හා ප්‍රතිනති මඩුල්ල)  

(රෑපය: කතුවරිය විසින් අදහස පැහැදිලි කිරීමට අඳින ලද්දකි)

(ඡායාරෑපය අන්තර්ජාලයෙනි. )
උඩුකුරැව ඇති වන වන උඩු නැමි ප්‍රතිනති (Anticline) නමින් ද යටි නැමි සහනති (Syncline) නමින් ද හැඳින්වේ. කුඩා නැමි රාශියකින් සමන්විත උඩු හා යටි නැමි පිහිටි විට එය උඩු හා යටි නැමි මඬුල්ල ලෙස හැදින්වේ.
·       විශාල සහනති මඩුල්ලක (උඩු නැම්මක) සුළු ප්‍රතිනති හා සහනති (උඩු හා යටි නැමි) සංඛ්‍යාවක් / රාශියක් ඇති වු විට එය සහනති මඩුල්ල ලෙස හැඳින් වේ.(3)
උදාහරණ:- ශ්‍රී ලංකාවේ ව්‍යුහයේ බටහිර-නැගෙනහිර හරස්කඩ පරික්ෂා කිරීමෙන් මධ්‍යම කඳුකරය මෙවැනි භූ රෑපයකට නිදසුන් සපයන බව  විද්වතුන් පෙන්වා දේ. (ඒ ගැන සවිස්තරාත්මකව ලංකාවේ භූ විද්‍යාත්මක සැකැස්ම පිළිබඳ කරනු ලබන ලිපි පෙළින් පැහැදිලි කර ගමු). ඒවා නිර්මාණය වී තිබෙන්නේ ප්‍රාග් කේම්බ්‍රීය අවසාදිත හේතුවෙනි. ඒ අනුව යටි නැම්මේ දුම්බර මිටියාවත හා වත්තේගම සිට කටුගස්තොට ද උඩු නැමි වල හන්තාන දොළොස්බාගේ උඩුවෙල ආදී ප්‍රදේශ පිහිටා ඇත. මේ බව පැහැදිලි කරන රෑපසටහනක් භෞතික භූගෝල විද්‍යාව අ.පො.උ. සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව (2009) ග්‍රන්ථයේ 28 වන පිටුවේ තිබේ.
තරමක් විශාල උඩු නැම්මක්
 ·       එමෙන්ම විශාල ප්‍රතිනතියක් (යටි නැම්මක) තුළ සුළු ප්‍රතිනති හා සහනති (උඩු හා යටි නැමි ) රාශියක් ඇති වු විට එය ප්‍රතිනති මඩුල්ලක් වේ(3). එංගලන්තයේ විල්ඩ් ප්‍රදේශයේ මිට නිදසුන් තිබේ

 
තරමක් විශාල යටි නැම්මක්. නමුත් ලෝකයේ මීට වඩා  අති දැවැන්ත යටි නැමි තිබේ.
      යටි නැම්මක්. රෑප දෙකින්ම පෙනවන්නේ එකම ස්ථානයක්. එය පාර සෑදීමට කන්ද කැපිම නිසා දැක ගත හැකිව තිබෙනවා.

චෙව්රන් (නිලපටි ආකාර) නැම්ම.(Chevron Fold)
          
  ඇත්තෙන්ම මේ නැම්මට සිංහලෙන් කියන නම මා දන්නේ නැහැ. Chevron  කියන වචනය ඉංග්‍රීසියේ දී යොදා ගැනෙනවා. මේවා නිලධාරින්ගේ නිලපටි ආකාරයට සමාන නිසා මේ නම භාවිතා වන බවක් තමා විකිපීඩියාව නම් දක්වන්නේ. මේවා තද නැමි වන අතර අංශක 70-80 ක් පමණ ආනත වී තිබෙනවා. ඍජු බාහු මෙන් ම මේවායේ උල් වු කොන් සහිත නැමි දැකිය හැකියි.  ස්ථර / තට්ටු රාශියකින් සමන්විතයි.
       උදාහරණ:- මඩගල් හා වැලි ගල් වලින් සැකසුණු උතුරැ කොන්වෝල් හි මිල්ලොක් කන්ද මීට උදාරණයක්.
(ඡායාරෑපය: විකිපීඩියාවෙනි. ස්ථානය: The Millook, North Cornwall.UK)

විවිධ භූ රෑප තවදුරත් ඊළඟ ලිපි  පෙළෙන් උගෙනිමු...

ලිපි පෙළටම පහත පොත් කියවලා ගත්ත දැනුමත් ලොකු පදනමක් සැපයුවා.
·        1.) භූ දර්ශනය ගොඩබිම සහ සාගරය- මහාචාර්යය එන්. කේ. දන්ගල්ල මහතා - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව. (1981)

·        2.) භෞතික භුගෝල විද්‍යාව හා දේශගුණ විද්‍යාව ආචාර්යය එන්. කේ. හොරොක්ස් (සිංහල මුද්‍රණය - 1976) ඇම්. ඩී ගුණසේන සහ සමාගම.

·        3.) භෞතික භූගෝල විද්‍යාව අ.පො.උ. සඳහා. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව (2009)

·        4.) උසස් පෙළ භෞතික මානව  හා ආර්ථික භූගෝල විද්‍යාව - නිව්ටව් කේ ප්‍රනාන්දු (1972) ඇම්. ඩී ගුණසේන සහ සමාගම.

·        5.) භෞතික භූගෝල විද්‍යා මුලධර්ම - එෆ්. ජේ .මොන්ක්හවුස් - රාජ්‍ය භාෂා පරිවර්තන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශය (1966)

·       මෙහි පලවන හා මෙම ලිපි මාලාවටම පදනම් වන සියළුම අන්තර්ජාලයෙන් ලබා ගත් ඡායාරෑප එහි අයිතිකරැවන් සතුවන ඒවා බව සලකන්න. කතෘ අයිතිය සුරකින්න.

*ද්විමාන හා ත්‍රිමාණ රෑපසටහන් ආකාර දෙකින් ම ඉදිරිපත් කර ඇත්තේ ඉතා පහසුවෙන් තේරැම් ගැනිමට ය. එය කියවන ඔබ වෙහෙස කරවනේ නම් කණගාටු වෙමි. සමහර රෑප සටන් අන්තර්ජාලයෙන් ලබා ගැනීමෙදී හමුවන්නේ රෑපය පමණි. ඒවායේ ස්ථාන නාම නැත. නමුත් උත්සහ කරන්නේ නම් ඒවා සොයා ගැනීමට නොහැකි නොවේ යැයි සිතමි.




Monday, December 1, 2014

පෘථිවියේ නැමි කඳු හා ඒවායේ සැකැස්මට අදාළ වු භූ රෑප.



01 කොටස
පෘථිවියේ භූ රෑප පිළිබඳ විමසිමේ පළමුවැන්න.
 (ඡායාරෑපය අන්තර්ජාලයෙනි. )

සෑම මහද්විපයකම ඊට ආවේනික වු රටාවකට හැඩ ගැසුණු විවිධත්වයකින් යුතු භූ රෑපනයක් දක්නට ලැබේ. කඳු නිර්මාණය වන්නේ පෘථිවියේ අභ්‍යන්තරයේ සිදුවන විවිධ ක්‍රියාවලි නිසා බව විද්වතුන්ගේ විශ්වාසය යි. ඒ කඳු අතර දැවැන්ත නැමි කඳු සුවිශේෂි තැනක් ගනී.
වසර දහස් ගණනක් තිස්සේ පාෂාණ තැටි තල්ලු වී යාම හා තෙරපීම හේතුවෙන් පාෂාණ නැමීම ‍නිසා මෙම නැමි කඳු සෑදී ඇත. ලෝ ප්‍රකට දැවැන්ත කඳු වන අන්දීස්, රොකී, හිමාලයා, ඇට්ලස්,  ඇල්ප්ස්, ආදී න් නැමි කඳුවලට උදාහරණ වේ. මේවා සාගරයට ඉතා ආසන්නයේ තැටි මායිම් අසළ පිහිටා ඇත. එමෙන් ම මේ කඳු මුදුන්වල තිබී සාගරික මසුන්ගේ ෆොසිල හමු වී ඇත. යුරල් ඇපලාචියන් වැනි අභ්‍යන්තරික ව විහිදි ඇති නැමි කඳු ද තිබේ. නමුත් වැඩි වශයෙන්ම පරික්ෂණ පවත්වා ඇත්තේ ඇල්පයින් කඳු පද්ධතිය පිළිබඳව වේ. ඇල්පයින් කඳු වලට යුරෝපයේ ඇල්ප්ස් සහ ආසියාවේ හිමාලයා කඳු අයත් වේ.මෙම කඳු පෘථිවි භූ ඉතිහාසයේ තෘතික භු යුගයේ දී ඇති වී ඇතැයි සැළකේ.

 (ඡායාරෑපය: ඇපලාචියන් කඳු හා ඇලිගෙනි සානුව වෙන් කෙරෙන තැන.විකිපීඩියාවෙන් උපුටා ගතිමි. )

රැපයෙන් පෙනෙන පරිදි හො ස්ථිර හා බලවත් පාශාණයක් හමුවෙදී දුර්වල පාශෘණ ස්ථරය නැවේ. කෙසේ වුවද මේ නැමි කඳු දිග පේළි වශයෙන් හෝ චාප වශයෙන් ඇති බව පෙනේ.  නැමි කඳු සැදෙන්නේ පීඩන ඇති වු දිශාවට සෘජු කෝණි ලෙස ය.
          ලෝකයේ විශාල කඳු හා සානු තැනිතලා ආගාධ ඇති කරනු ලබන්නේ පෘථිවි පාෂාණ අතර සිදු වන චලන මඟිනි. එම චලනයන් එසේ ඇති වන්නේ පෘථිවි අභ්‍යන්තරයේ පවතින සංවහන ධාරා හා විකිරණශීලී ඛනිජ වල ශකිතිය මුක්ත කිරීම් වල ප්‍රථිපලයක් වශයෙන් බව විද්‍යාඥයන්ගේ  අදහසයි. ඒසේ ම මේ හැම ක්‍රියාවකටම ශක්තිය ලබා දෙන්නේ සුර්යයා විසින් ය. සුර්යය තාපය හේතුවෙන් හට ගන්න භූ තාපය බොහෝ අන්තර්ජන්‍ය ක්‍රියාවලීන්ට අවශ්‍ය ශක්තිය නිපදවනු ලැබේ.
 මේ ලිපිය අවසානයේ දී මතක තබා ගත යුතුම කරුණක් වන්නේ එක කන්දක් හැදෙන්න බලපාලා තියෙන්නේ මේ තනි සිද්ධියක් විතරක් නෙවේ ය යන්න යි. එක කන්දක මේ වැනි විවිධ නැමි වර්ග බොහෝමයක් තිබිය හැකියි.
          පෘථිවියේ හට ගන්නා සියලුම භූ ලක්ෂණ ක්‍රියාවලීන් දෙකකට අයත් වේ. ඒවා නම්,
·       බහිර්ජන්‍ය ක්‍රියාවලි
බහිර්ජන්‍ය ක්‍රියාවලි අර්ථයෙන් හැඟවෙන පරිදීම පිටතින් සිදු වේ. නග්නීකරණ ක්‍රියාවලීන් ලෙසින් ද මේවා හඳුනා ගත හැක. ගලන ජලය, සුළඟ, අයිස්, සාගර තරංග, ග්ලැසියර යන ඒවා නග්නීකරණකාරක නැතහොත් බහිර්ජන්‍යකාරක ලෙස හඳුනා ගත හැක. මේවා විසින් පෘථිවි පෘශ්ඨය ගෙවීමකට ලක් කිරීම එනම් විශමතාව නැති කිරීම සිදු කරයි.

·       අන්තර්ජන්‍ය ක්‍රියාවලි
මේවා පෘථිවියේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලි වේ. භූමිකම්පන වල ප්‍රතිඵල වශයෙන් ඉරිතැලීම් හා ‍දැදුරැ (වෙන් විම්) ඇති වීමෙන් ද,යමකම ක්‍රියාවලියේ දී ඒවා විදාරණය වීමට යමහල් මුඛය විවෘත විමෙන් ද මේවා ඇති වේ. මෙම බලවේග ආකාර දෙකකි.

·       සිරස් චලන (මහද්වීපකාරක (අරීය) බල සහ චලන.)
අභ්‍යන්තරයේ ඇති වන බලවේග ක්‍රියාත්මක වන්නේ සිරස් අතර නම් ඒවා සිරස් බලවේග වේ. මේ මඟින් මහද්වීප හා සාගර වල චලනයන් සිදු කරනු ලැබේ.
පෘථිවිය පුරා ඇති පාෂාණ නිරන්තරයෙන් ඛාදනයට ලක්වේ. මෙසේ ඛාදනයට ලක් වන පාෂාණ ඛාදනය වී තැම්පත් වන්නේ පහත් තැන් වලය. (එනම් නිම්න, වෙරළ ආශ්‍රීතව වැති පහත් බිම් වල).  මෙසේ තැම්පත් විමෙන් පෘථීවියේ යම් තැනක එනම් ඛාදනයට ලක්වන තැන පිහිටි භූ ස්කන්ධයේ බර අඩු වීමත් ඛාදිත ද්‍රව්‍ය තැම්පත් වන ස්ථානයේ බර වැඩි විමත් සිදු වේ. කලක් තිස්සේ මෙසේ බර දරා සිටින භූ ස්කන්ධ වල බර සැහැල්ලු වීම නිසා මේවා එසවීමට පටන් ගනී. සමස්ථිතිකවාදයෙන් කියවෙන්නේ මේ සිද්ධාන්තයයි. මේවා එක්තරා ආකාරයක සිරස් චලනය වීමක්  ලෙස ඇතැමුන් විග්‍රහ කරන්නෙ එබැවිනි.
 ඉතා වැදගත් ම කරැණ වන්නේ භූ ස්කන්ධයක් මේ ආදී ක්‍රියා නිසා ඉහළ පහළයාමක් පමණක් නොව තිරස් අතට චලනය වෙමින් තිරස් චලන ද නිර්මාණය කරන බව ය.
ග්ලැසියර් වැනි දේ වසර දහස් ගණන් පෘශ්ඨය මත තැම්පත්  වීම නිසා කලකදී ඒවා ඒ බරින් පහත් විය. පසුව මෙම ග්ලැසියර ක්‍රම ක්‍රමවෙයන් දියවී යාම හේතු කර ගෙන අර භූමිවල තිබු බර සැහැල්ලු වී එසවෙන්නට පටන් ගනී භූ විද්‍යාඥයන් විග්‍රහ කරන ආකාරයට වසර දසලක්ෂයකට ඉහත ප්ලයොස්ටොසින නම් යුගයේදී යුරෝපය මතුපිට තිබු බවට විශ්වාස කරන ඉතා තද ග්ලැසියර තට්ටුවේ බරට පහත් විය. පසුව ග්ලැසියරය දියවි ගිය පසු අද පවා මේ භූ ස්කන්ධය නැවත එසවෙමින් තිබේ. මේ ආකාරයට මහද්වීපික කොටස් ඉහළ පහළ යාම කෙරෙහි මේ චලන බලපා ඇත.නැත්නම් එසේ ඉහළ පහළ යන චලන වලට මේ නම භාවිතා කරති. සිරස් භූ චලන නිසා නිර්මාණය වන්නේ විශාල පරිමාණයේ භූ රෑප වන සානු , ද්‍රෝණි (පළිහ හා කුට්ටි) වැනි ඒවා වන අතර ඉහළට එසැවෙන විට සානු ද පහළට ගිලා බසින විට ද්‍රෝණි ද නිර්මාණය වේ.
සානු:-
o   අප්‍රිකානු සානුව
o   රුසියානු වේදිකාව
o   ඉන්දීය අර්ධද්වීපික සානුව

ගොඩබිම් ද්‍රෝණි:-
o   උතුරැ ඇමරිකාවේ නොවාඩා ද්‍රෝණිය
o   උතුරැ ඇමරිකාවේ ඌටා ද්‍රෝණිය
o   අප්‍රිකාවේ චැඩ් ද්‍රෝණිය.
o    අප්‍රිකාවේ කොංගෝ  ද්‍රෝණිය.
o   පැරිස් ද්‍රෝණිය.

මුහුදු ද්‍රෝණි:-
o   මධ්‍යධරණි ද්‍රෝණිය
o   කැස්පියන් ද්‍රෝණිය.

·       තිරස් හෙවත් ආංශීක චලන (පර්වතකාරක භූ චලන)
අභ්‍යන්තරයේ ඇතිවන බලවේග ක්‍රියාත්මක වන්නේ තිරස් අතට නම් එය තිරස් බලවේගයක් වේ. පෘථිවියේ දුර්වල පෘෂෘණ කොටස් තිරස් බලවේග නිසා පවතින හැඩයෙන් වෙනස් වේ. මේවා වර්ග දෙක කි.

  • ආතතීය බල සහ චලන.      සම්පීඩනය යනු දෙපැත්තෙන්ම තෙරපීම ය. මේ බලවේගයන්ට නතු වීමෙන් පාෂාණ ස්ථර රැළි ගැසී නැමේ.
  •   සම්පීඩන බල සහ චලන.     සම්පීඩනය යනු දෙපැත්තෙන්ම තෙරපීම ය. මේ නිසා පැලීමට ලක් වී එකිනෙකින් ඈත් වේ. එක තැනක සම්පිඩනයක් ඇති වන විට ඒත් සමඟ ම තවත් තැනක (එම ඈත් වීම නිසා ම, එය හේතු කොට ගෙන ම) ආතතීය බලවේගයක් ඇති විය හැක.
 නග්ණිකරණ මඟින් ඛාදිත ද්‍රව්‍ය (භාරය) පහත් බිම් වල තැම්පත් වන විට ඒවා බරින් වැඩි ය. නමුත් ඛාදනය වු භූමියේ සැහැල්ලු වීම නිසා ඒවා එසවෙමින් එකිනෙකට ලං විය හැක. එවිට මැද පිහිටි ඛාදිත ද්‍රව්‍ය තිබෙන තැන සම්පීඩනය වෙමින් රැළි ගැසේ (නැමි ඇති වේ). මෙලෙස මේ තවදුරත් සම්පීඩනය වන විට නැමීමට ඇති අවකාශය පටු නිසා (ආතතීය නිසා) නැමි කඳු ලෙස උතිකිෂිප්ත(ඉහළට එසවීම) වීම සිදු වේ.මෙසේ ඇති වු කඳු ලෙස පීරනීස්-ඇල්පයින්-හිමාලයා නැමි කඳු හඳුනා ගැනේ. ඒවා අංගාරාලන්තය හා ගොඩ්වානාලන්තය  අතර පිහිටි ටේටිස් මුහුදේ (මේ භූමි දෙක හා සාගර පෘථිවි ඉතිහාසවය් තිබු මුල්ම භුමි හා සාගරික ද්‍රෝණිය වේ. ඒ විහාල මුල් භූමි බිඳි ගොස් පාවී අද පවතින හැඩයට ලෝකයේ මහද්විප හා සාගර පිහිටා ඇත. භූ කාරක තැටි කල්පිතයෙන් ද, ඇල්ෆඩ් වෙබර් ගේ මහද්වීප ප්ලවන කල්පිතයෙන් පැහැදිලි කරන්නේ ද මෙයයි.)තැම්පත් වු අවසාදිතයන් ඇසුරින් නිර්මාණය වී ඇත. රොකී- අන්දිස් කඳු ද මේ වැනිම කඳු වේ.
මෙවැනි විශාල කඳු පද්ධති ඇති කරන්නට මේවා බලපානවා සේ ම කුඩා ප්‍රමාණයේ සම්පීඩනය වීම් නිසා ද නොයෙක් අන්දමේ නැමි ඇති වේ. (ඒ ගැන ඊලඟ ලිපියේ සඳහන් වේ.)
නැමි වර්ග හඳුනා ගන්නේ ඒවායේ හැඩය, නැම්මේ ස්වභාවය, සමමිතික බව, ආදි ලක්ෂණයන් සලකා බලමිනි.
(ඡායාරෑපය අන්තර්ජාලයෙනි. )

විවිධ භූ රෑප තවදුරත් ඊළඟ ලිපි  පෙළෙන් උගෙනිමු...


ලිපි පෙළට ම පහත පොත් කියවලා ගත්ත දැනුමත් ලොකු පදනමක් සැපයුවා.

·  1.) භූ දර්ශනය ගොඩබිම සහ සාගරය- මහාචාර්යය එන්. කේ. දන්ගල්ල මහතා - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව. (1981)

·2.) භෞතික භුගෝල විද්‍යාව හා දේශගුණ විද්‍යාව ආචාර්යය එන්. කේ. හොරොක්ස් (සිංහල මුද්‍රණය - 1976) ඇම්. ඩී ගුණසේන සහ සමාගම.

·3.) භෞතික භූගෝල විද්‍යාව අ.පො.උ. සඳහා. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව (2009)

මේ පොත් බොහෝ දුරට පුස්තකාල වල තියෙන ඒවා. නමුත් පරිශිලනය ඉතාම අඩු හංදා ඒවායේ දැනුම සමාජ ගත වෙන්නේ නෑ. හැමවිටම න්‍යායෙන් සංකල්පයෙන් මෙන් ම අත්දැකීම් හා අත්විදිම් වලින් පෝෂණය වන තරමට තමා වටිනාකම වැඩි වෙන්නේ. අන්තර්ජාලයේත් ඕන තරම් විස්තර තියෙනවා.



මේ ලිපි මාලාවේ පිංතූර ටිකක් වැඩි විය හැකියි. මං උත්සහ කරන්නේ හැම දේකට ම උදාරණයක් පෙන්වන්න. අනික පුංචි පුංචි රෑපවලින් මේ දැවැන්ත ක්‍රියාවලින් පැහැදිලි වෙන රෑප දාන්නත් බෑ. ඉතිං ලොකු පිංතුර එක්ක තමා මේ වැඩේ කරන්න වෙන්නේ.
මේ තමා ආශ්චර්යමත් පෘථිවියේ පය ගහලා ඉන්න ගෙන්දගම් පොළොව  මැවුනු හැටි. දැවැන්ත පර්වත එකිනෙකාගේ හැප්පිලා තෙරපිලා හැදුණු හැටි.  මේවා අධ්‍යයනය කරපු භූගර්භ විද්‍යාඥයින්, භූගෝල විද්‍යාඥයින් ඒවා අඳුන ගන්න විවිධ පදනම් අනුව වර්ග කළා. අපි මේ කියවන්න යන්නේ ඒ වර්ගකිරීම තමයි.
 අපට පාෂාණ ස්ථරවල නැමි නිරික්ෂණය කරන්නට අවශ්‍ය නම් මහා කඳු සොයමින් යා යුතු නැහැ. ඉතා කුඩා ප්‍රමාණයේ නැමි ඔබගේ ගෙවත්තේ ඇති කුමක් හෝ ඉදි කිරීමකට ගෙන ආ කළු ගල් කැබලිවල පවා තිබිය හැකියි. මේ අනුව පහසුවෙන් ම බොහෝ නැමි වර්ග අධ්‍යයනයට උදාහරණ සොයා ගැනීමට පුළුවන්.
 අනෙක් අතට නැමි වර්ග ගවේෂණය කිරීමට මැටි (ක්ලේ) වර්ණ කර තට්ටු වශයෙන් තබා දෙපසින් විවිධ ආකාරයට පීඩනයන් යොදමින් නැමි සඳහා ආදර්ශ නිර්මාණය කළ හැකියි. පාසල් සිසුන්ට අධ්‍යාපන ප්‍රදර්ශන සඳහාත් කණ්ඩායම් ව්‍යාපෘති සඳහාත් මෙවැනි දේ කළ හැකි අතර ඒ ආදර්ශ බාල සිසු පරපුර වෙත තිලිණ වශයෙන් තබා යන්නට හැකියි. කෙසේ වුවත් භූ රෑප විද්‍යාව ඉතාම රසවත් ක්ෂෙත්‍රයක් වන අතර ගවේෂණශීලි ක‍වරෙකුගේ වුව ද සිත් ඇද ගනී. භූ රෑප පිළිබඳ අධ්‍යයනය කරන්නා නිරන්තරයෙන් ම ඇවිද යන්නට සංචාරය කරන්නට සුදානම් වී සිටින්නෙකු විය යුතුයි.

‘වෙනස්වන’ බව වෙනස් කරන්න බෑ.