Sunday, December 14, 2014

නැමි කඳු භූ රෑපණය අනුව වර්ග කිරීම:



02. කොටස
පළවෙනි කොටස කියවන්න ලින්ක් එක.


 (ඡායාරෑපය අන්තර්ජාලයෙනි. the Lower Ugab valley in Namibia)

මේ රෑපයෙන් පැහැදිලි වන ආකාරයේ සැබෑ  නැමිමක් මතු පිට සිට බලන්නෙකු දැක ගන්නේ කලාතුරකිනි. එවැනි එක් අවස්ථාවක් මෙහි ප්‍රථමයෙන් දක්වා ඇති රෑ‍පයෙන් දැක් වේ. බොහෝ විට අප ඇවිද යන භූමිය අභ්‍යන්තරයේ නැමි තිබිය හැක. නමුත් අපට ඒවා දැකිය නොහැක. ඒවා දැක ගත හැකි වන්නේ ඒ පස් ස්ථරය හරහා කැපුමක් යෙදු විටක  වැනි අවස්ථාවක ය.
 
මේවායේ නැමි අක්ෂය වෙනස් වීම විශේෂ අවධානයට ලක්විය යුතුවේ. පහත රෑපයෙන් පෙන්වන්නේ නැමි අක්ෂයේ පිහිටීම ය. මන්ද යත් පාෂාණය නැවෙන්නේ මේ නැමි අක්ෂය මුලික කරගෙනය. බොහෝ විට අධ්‍යයන පහසුව තකා භූ රෑප හඳුනා ගන්නේ ද නැමි අක්ෂයේ ක්‍රියා කාරීත්වය අනුව වේ. පහත රෑපය හොඳින් අධ්‍යනය කරන්නේ නම් ලා නිල් පැහැයෙන් දැක්වෙන නැමි අක්ෂය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක. එසේම භූ රෑපයන්හි නැමි පිළිබඳ පැහැදි කරන පහත සටහන් වල රතු පැහැයෙන් දක්වා ඇත්තේ ද නැමි අක්ෂය යි.

නැමි වර්ග රාශියක් දක්නට ලැබේ. මේ අතුරෙන් කිහිපයක් පමණක් මෙහි ලා සළකා බලා ඇත. විවිධ විභාග සඳහා භූ රෑප ඇඳ දක්වන විට කාලය ඉතිරි කරගෙන රෑපය ඉතා හොඳින් පැහැදිලි වන ආකාරයට ඇඳ පෙන්විය හැකි ක්‍රමයක් වන්නේ එම භූ රෑප ද්විමානව ඉදිරිපත් කිරීමය.

නැමි කඳු භූ රෑපණය අනුව වර්ග කිරීම: (අවසාදිත ස්ථර ඇසුරින් පැහැදිලි කර ඇත.) ද්වීමාන රෑප සටහන් මා විසින් ඇඳ ඇති අතර ත්‍රිමාණ ඒවා අන්තර්ජාලයෙනි.

සමමිතික නැම්ම.(සාමාන්‍ය නැමි, ) (Symmetrical fold)


දෙපසින් ලැබෙන පීඩන බලයන් සමාන වු විට සහ පාෂාණ ස්ථරයන්ගේ ඒකීයත්වයක් ඇති වු විට මේ බඳු භූ රෑපයක් සෑදේ. නැමි අක්ෂයන්ගේ දෙපස සෑදෙන බෑවුම් කෝණ වල සමාන බවක් දැකිය හැකි නිසා සමමිතික බෑවුම් යන්න යෙදේ. ද්විමාන වර්ණ රැපය දක්වන්න‍නේ සමමිතික උඩු නැම්මකි. එය යටි නැම්මක වුවද පිහිටිය හැක.
          උදාහරණ:- හිමාලය කඳුවැටියේ උසින් අඩු සිවලින් කඳු

 අසමමිතික නැමි.(Asymmetrical fold)

(රෑපය: කතුවරිය විසින් අදහස පැහැදිලි කිරීමට අඳින ලද්දකි)

නිර්මාණය වීමෙදී වෙනස් ප්‍රතිරෝධකතා සහිත පාෂාණ ස්ථර නැවිමෙන් මේවා සෑදේ. දෙපසින් ලැබෙන පීඩනයේ අසමානතාවය හා පාෂාණ ස්ථරයන්ගේ අසමාන බව නිසා එක් පැත්තක පීඩනයට වඩා අනෙක් පැත්තේ පීඩනය අඩු හෝ වැඩි එකක් විය හැක. එවිට සෑදෙන භූ රෑපයේ බාහු වල අසමාන බවක් දැකිය හැකි වීම විශේෂය යි. එනම් නැම්මේ එක් අංශයක් අනෙකට වඩා බෑවුම් සහිත ය. උදාහරණ:- එංගලන්තයේ පෙනයින් කඳු (රෑපයෙන් දැක්වෙන්නේ වෙනත් ස්ථානයකි)

(ඡායාරෑපය අන්තර්ජාලයෙනි. )
         
සමානති නැමි. (Isoclinals fold) 


මෙම භූ රෑපය නිර්මාණය වන පාෂාණ ස්ථරයන් සමාන වේ.
 උදාහරණ:- හිමාලය ආශ්‍රීත සිවලින් කඳු (පහත රෑපයෙන් දැක්වෙන්නේ වෙනත් ස්ථානයකි)

(ඡායාරෑපය අන්තර්ජාලයෙනි. )

ඔත් නැම්ම, සැතපුන නැම්ම (Recumbent fold) 


ඔත් නැම්මක් සැතපුන නැම්මක් ලෙසද හඳුන්වයි. එක් පැත්තක පීඩන බලය අනෙක් පැත්තේ පීඩන බලයට වඩා අතිශයින් වැඩි වු විට නැමි අක්ෂය ද බෑවුම් කරමින් උඩු බාහුව යටි බාහුව මත පිහිටන සේ සකස් වේ.
          උදාහරණ:-ඇලිප්ස් කඳුවැටියේ  මේ ලක්ෂණ දැකිය හැක.

ඒකානති නැමි. (Monoclinefold

මෙය ආකාර කිහිපයකින් නිර්මාණය විය හැක. එක්තරා ආකාරයකට විභෙදයක් සේ ද සැලකිය හැකි මෙය නිර්මාණය වන්නේ නැමි අක්ෂය අසලින් පාෂාණය බිඳිමෙනි. නමුත් නැපියක් සේ විශාල බලයක් මෙයට හේතු නොවන නිසා මෙහි මතුපිට පාෂාණ ස්ථරය එතරම් දුරකට යන්නේ නැත.  මෙහි පහළ තිබෙන ස්ථර තියුණු අවපාතයක් හෝ පොළවට සමාන්තරව විහිදෙන, මෘදු බෑවුමක් සහිත ආකාරයට  සමන්විත වේ. අභ්‍යන්තරික පාෂාණ තට්ටු වෙනස් බල මඟින් සම්පීඩනය වීම හේතුවෙන් නිර්මාණය වේ.

(ඡායාරෑපය: විකිපීඩියාවෙනි. ස්ථානය: Colorado National Monument)

උදාහරණ:- ග්‍රෑන්ඩ් කැනියොන් ප්‍රදේශය - ඇරිසෝනා- USA

                   බ්ලු මවුන්ටන් - ඕස්ට්‍රේලියාව

                   කොළරාඩෝ උද්‍යානය - USA


උලැඟි නැම්ම, නැපිය  (Nappe fold) 


ඔත් නැම්මක හෝ ඒකානති නැම්මක උඩ පිහිටි බාහුව මතට වැඩි පීඩනයක් ඇති වු විට එය යට කොටසට වඩා ඉදියට තල්ලු වී යා හැක. මෙසේ තල්ලු වන කොටස උලැඟිවීම සිදුවු ස්ථානයෙන් කිලෝමීටර ගණනාවක් ඈත තැම්පත් වී තිබිය හැක. එවිට ඒවා එකවරම හඳුනා ගැනීම අපහසු වේ. අයෙකුට මෙය සම්පීඩනය නිසා ඇතිවන විභෙද අවස්ථාවක් සේ වුවත් සැලකිය හැකි නමුදු මෙය නිර්මාණය වන්නේ නැමි කඳු නිර්මාණය වන ආකාරයට ම බැවින් හා විභේද වීම ඒ පාෂාණ ස්ථරයන්ගේ දරා ගැනීමේ හැකියාවට වඩා වැඩි වීම හේතුවෙන් නිර්මාණය වන නිසා මෙය බොහෝ අය සලකන්නේ නැමි කන්දක් ලෙස ය(1). කෙසේ වුවත් මේ වැනි සංකීර්ණ නැමි ලෝකයේ ඉතාම විරල වේ. උපරිපතනය, අතිව්‍යාප්ත ව්‍යුහය යනුවෙන්ද මෙම භූ රෑපය හැදින් වේ. නමුත් මේවා කුඩා පරිමාණයෙන් කඳුවල දැකිය හැකි යැයි ඇතැම්හු අදහස් කරති.
          උදාහරණ:- ස්කොට්ලන්තයේ වයඹ දිග කඳු අතර මේ ලක්ෂණ දැකිය හැක. එමෙන් ම යුරෝපයේ මධ්‍යම ඇල්ප්ස් වලද, නැගෙනහිර රොකී කඳු වල දැකිය හැකිය(2)


උඩු හා යටි නැමි මඩුල්ල . (සහනති මඩුල්ල  හා ප්‍රතිනති මඩුල්ල)  

(රෑපය: කතුවරිය විසින් අදහස පැහැදිලි කිරීමට අඳින ලද්දකි)

(ඡායාරෑපය අන්තර්ජාලයෙනි. )
උඩුකුරැව ඇති වන වන උඩු නැමි ප්‍රතිනති (Anticline) නමින් ද යටි නැමි සහනති (Syncline) නමින් ද හැඳින්වේ. කුඩා නැමි රාශියකින් සමන්විත උඩු හා යටි නැමි පිහිටි විට එය උඩු හා යටි නැමි මඬුල්ල ලෙස හැදින්වේ.
·       විශාල සහනති මඩුල්ලක (උඩු නැම්මක) සුළු ප්‍රතිනති හා සහනති (උඩු හා යටි නැමි) සංඛ්‍යාවක් / රාශියක් ඇති වු විට එය සහනති මඩුල්ල ලෙස හැඳින් වේ.(3)
උදාහරණ:- ශ්‍රී ලංකාවේ ව්‍යුහයේ බටහිර-නැගෙනහිර හරස්කඩ පරික්ෂා කිරීමෙන් මධ්‍යම කඳුකරය මෙවැනි භූ රෑපයකට නිදසුන් සපයන බව  විද්වතුන් පෙන්වා දේ. (ඒ ගැන සවිස්තරාත්මකව ලංකාවේ භූ විද්‍යාත්මක සැකැස්ම පිළිබඳ කරනු ලබන ලිපි පෙළින් පැහැදිලි කර ගමු). ඒවා නිර්මාණය වී තිබෙන්නේ ප්‍රාග් කේම්බ්‍රීය අවසාදිත හේතුවෙනි. ඒ අනුව යටි නැම්මේ දුම්බර මිටියාවත හා වත්තේගම සිට කටුගස්තොට ද උඩු නැමි වල හන්තාන දොළොස්බාගේ උඩුවෙල ආදී ප්‍රදේශ පිහිටා ඇත. මේ බව පැහැදිලි කරන රෑපසටහනක් භෞතික භූගෝල විද්‍යාව අ.පො.උ. සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව (2009) ග්‍රන්ථයේ 28 වන පිටුවේ තිබේ.
තරමක් විශාල උඩු නැම්මක්
 ·       එමෙන්ම විශාල ප්‍රතිනතියක් (යටි නැම්මක) තුළ සුළු ප්‍රතිනති හා සහනති (උඩු හා යටි නැමි ) රාශියක් ඇති වු විට එය ප්‍රතිනති මඩුල්ලක් වේ(3). එංගලන්තයේ විල්ඩ් ප්‍රදේශයේ මිට නිදසුන් තිබේ

 
තරමක් විශාල යටි නැම්මක්. නමුත් ලෝකයේ මීට වඩා  අති දැවැන්ත යටි නැමි තිබේ.
      යටි නැම්මක්. රෑප දෙකින්ම පෙනවන්නේ එකම ස්ථානයක්. එය පාර සෑදීමට කන්ද කැපිම නිසා දැක ගත හැකිව තිබෙනවා.

චෙව්රන් (නිලපටි ආකාර) නැම්ම.(Chevron Fold)
          
  ඇත්තෙන්ම මේ නැම්මට සිංහලෙන් කියන නම මා දන්නේ නැහැ. Chevron  කියන වචනය ඉංග්‍රීසියේ දී යොදා ගැනෙනවා. මේවා නිලධාරින්ගේ නිලපටි ආකාරයට සමාන නිසා මේ නම භාවිතා වන බවක් තමා විකිපීඩියාව නම් දක්වන්නේ. මේවා තද නැමි වන අතර අංශක 70-80 ක් පමණ ආනත වී තිබෙනවා. ඍජු බාහු මෙන් ම මේවායේ උල් වු කොන් සහිත නැමි දැකිය හැකියි.  ස්ථර / තට්ටු රාශියකින් සමන්විතයි.
       උදාහරණ:- මඩගල් හා වැලි ගල් වලින් සැකසුණු උතුරැ කොන්වෝල් හි මිල්ලොක් කන්ද මීට උදාරණයක්.
(ඡායාරෑපය: විකිපීඩියාවෙනි. ස්ථානය: The Millook, North Cornwall.UK)

විවිධ භූ රෑප තවදුරත් ඊළඟ ලිපි  පෙළෙන් උගෙනිමු...

ලිපි පෙළටම පහත පොත් කියවලා ගත්ත දැනුමත් ලොකු පදනමක් සැපයුවා.
·        1.) භූ දර්ශනය ගොඩබිම සහ සාගරය- මහාචාර්යය එන්. කේ. දන්ගල්ල මහතා - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව. (1981)

·        2.) භෞතික භුගෝල විද්‍යාව හා දේශගුණ විද්‍යාව ආචාර්යය එන්. කේ. හොරොක්ස් (සිංහල මුද්‍රණය - 1976) ඇම්. ඩී ගුණසේන සහ සමාගම.

·        3.) භෞතික භූගෝල විද්‍යාව අ.පො.උ. සඳහා. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව (2009)

·        4.) උසස් පෙළ භෞතික මානව  හා ආර්ථික භූගෝල විද්‍යාව - නිව්ටව් කේ ප්‍රනාන්දු (1972) ඇම්. ඩී ගුණසේන සහ සමාගම.

·        5.) භෞතික භූගෝල විද්‍යා මුලධර්ම - එෆ්. ජේ .මොන්ක්හවුස් - රාජ්‍ය භාෂා පරිවර්තන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශය (1966)

·       මෙහි පලවන හා මෙම ලිපි මාලාවටම පදනම් වන සියළුම අන්තර්ජාලයෙන් ලබා ගත් ඡායාරෑප එහි අයිතිකරැවන් සතුවන ඒවා බව සලකන්න. කතෘ අයිතිය සුරකින්න.

*ද්විමාන හා ත්‍රිමාණ රෑපසටහන් ආකාර දෙකින් ම ඉදිරිපත් කර ඇත්තේ ඉතා පහසුවෙන් තේරැම් ගැනිමට ය. එය කියවන ඔබ වෙහෙස කරවනේ නම් කණගාටු වෙමි. සමහර රෑප සටන් අන්තර්ජාලයෙන් ලබා ගැනීමෙදී හමුවන්නේ රෑපය පමණි. ඒවායේ ස්ථාන නාම නැත. නමුත් උත්සහ කරන්නේ නම් ඒවා සොයා ගැනීමට නොහැකි නොවේ යැයි සිතමි.




No comments:

Post a Comment