Saturday, February 28, 2015

ශ්‍රම බලකායේ බලකඳවුරු හෙවත් ලෝකයේ තරුණ ජන ගහණයේ එකරාශී වීම.


http://www.wfsnews.org/youth.html

          ලෝකයේ ජන ගහණයේ ව්‍යාප්තිය කාලීන හා අවකාශීය වශයෙන් වෙනස් වේ. මෙම වෙනස් වීම හේතුවෙන් ලෝක මානව සම්පතේ ව්‍යාප්තිය අනෙක් කවර සම්පතකටත් වඩා ගතික . එහා මෙහා කළ හැකි සම්පතක් කොතරම් අගනේ ? මානව සම්පතේ ශ්‍රම භාවිත අගය අනුව එය කාණ්ඩ ගත කොට ඇත. ඒ අනුව,
·       වයස අවු: 15 ට අඩු කාණ්ඩය
·       වයස අවු: 15-65 ත් අතර කාණ්ඩය
·       වයස අවු: 65 ට අඩු කාණ්ඩය

මෙම වයස් කාණ්ඩ අතුරින් වයස අවුරුදු 15 ට අඩු කාණ්ඩය  මා දකින ආකාරයට ශ්‍රම බලකායේ විභව ශක්තිය වේ. මෙසේ හඳුනා ගැනීමට හේතුව වුයේ මෙම කුඩා දරුවන් හෙට ලෝකයේ බලැති ශ්‍රම බලකායේ සමාජිකයන් වන බැවිනි. දරුවන් සම්පතක් වන්නේ මේ නිසාම පමණක් නොවන්නේ දරුවෙක් දෙමාපියන්ට හෙට ලෝකයේ ශ්‍රමිකයෙක් පමණක් ම නොවන බැවිණි. ශ්‍රමය යනු ධනය යැයි අදහන්නට අමතක වු ධනවාදින් ඈත නොබලා මෑත බලා දරුවන් දෙස ද්‍රව්‍යාත්මක ලෙස බැලිමේ විපාකයන් දැන් ඔවුන්ට දැනෙමින් තිබේ. අධික ලෙස පුද්ගලීකරණය වු ඔවුන්ගේ ලෝකයේ චීනයේ මෙන් නෛතික රාමුවක් යටතේ ජනසංඛ්‍යා ප්‍රතිපත්තියක් ගෙන ඒමට ආණ්ඩුවට / රජයට නොහැක. ජන සංඛ්‍යාවේ හායනයකට මුහුණ දෙන ඔවුන්ගේ අනාගතය ඉදිරියේදී  බාර ගැනීමට ඉන්නා පිරිස ගණනින් අඩුය. 2011 එක්සත් ජාතින්ගේ ජන ගහන වාර්තාව පෙන්වා දෙන පරිදි 2011 වන විට වයස අවුරුදු 15 ට අඩු පිරිස වැඩිම (ළමා ජන ගහණය වැඩිම) රටවල් දහයම අයත් වන්නේ අප්‍රිකාවට ය.

වයස අවුරුදු 65 ට වැඩි ජන කොටස අද ලෝකය සතු ඉතිහාසය ගොඩනැඟු මෑතම ජන කොටසය. අත්දැකීම් හා අත්විඳිම් වලින් පරිපුර්ණ වු ඔවුන් අප සතු වටිනාම පදනම ලෙස මම දකිමි. අප නොවැටෙන්නේ,  අප සිටින්නේ ඔවුන් මත බැවිණි. එදා ඔවුන් තැනු ලෝකයේ අද අප ජිවත් වෙමින් අනාගතයේ ලෝකය ගොඩ නඟමින් සිටින්නෙමු. අද අප භාවිතා කරන්නේ අපේ අතීතයෙන් උරුම කොට ගත් දේ ය. මේ නයින් අප අනාගතයට තරම් ම අතීතයට ද ණය ගැති වෙමු. මෙම කාණ්ඩයේ ජනගහණය වැඩිම රටවල් 10 ම අයත් වන්නේ යුරෝපය ඇතුළු සංවර්ධිත රටවල් සහිත කාණ්ඩා‍මට ය.මා කියන්නට උත්සහා කරනුයේ පුර්ව සංවර්ධිත රාජ්‍ය දැන් වයස්ගත බව ය. කළ යුත්ත ඔවුහු දනිති. නමුත් කරන්නට අය නැත. අනාගත ලෝකයේ ආසියාවත් අප්‍රිකාවත් නැඟි සිටිනු ඇත්තේ තාරුණ්‍ය පෙරදැරි කරගෙන බව පුර්ව සංවර්ධිත ලෝකය දනී. මන්ද ඔවුන් එදා නැඟිසිටියේ ද තාරුණ්‍ය පෙරටු කොට ගෙන ය.


ලෝකයේ වැඩිම ළමා ජනගහනයක් පවතින රටවල් දහය හා වැඩිම මහළු ජනගහනයක් පවතින රටවල් දහය



වැඩිම ළමා ජනගහනයක් පවතින රටවල් දහය                      

රට                   සමස්ත ජන සංඛ්‍යාවෙන් ළමා ජනගහනයේ ප්‍රතිශතය               

නයිජර්                   48.9  
උගන්ඩා                 48.3
මාලි                       47.6                               
ඇන්ගෝලාව         47.3  
සැම්බියාව              46.5
බුරුන්ඩි                 46.3            
කොංගෝ              46.0            
මොසැම්බික්           45.3  
චැඩ්                       45.3                                                                     
බර්කිනා ෆාසෝ     45.2  

වැඩිම මහළු ජනගහනයක් පවතින රටවල් දහය

රට                   සමස්ත ජන සංඛ්‍යාවෙන් මහළු ජනගහනයේ ප්‍රතිශතය
ජපානය                 23.2
ජර්මනිය                 20.7
ඉතාලිය                 20.2
ග්‍රීසිය                     18.9
ස්විඩීනය                18.5
පෘතුගාලය              17.9
ලැට්වියාව              17.4
ඔස්ට්‍රියාව               17.6
පින්ලන්තය            17.5
බල්ගේරියාව          17.7

උපුටා ගැනීම: එක්සත් ජාතීන්ගේ ජනගහණ වාර්තාව 2011


වර්තමානයේ අපට වඩාත් ම වැදගත් වන්නේ වයස අවුරුදු 15 ත් 65 ත් අතර ජන කණ්ඩායම ය. සෑම කාලයක දීම එම වයස් කාණ්ඩය ඉතා වෙහෙස වන, සංවර්ධනයට දායක වන පිරිස වේ. ලෝකයේ තරුණ ජන සංඛ්‍යාව එකරාශී විමෙන් වඩාත් ශක්තිමත් මානව ශ්‍රමයක්,  එම ඒකරාශි වන අවකාශය සතු වේ. තාරුණ්‍ය යනු ලෝකයේ ශක්තිය වන අතර ධනය / සංවර්ධනය  යනු ඔවුන්ගේ ප්‍රයෝජ්‍ය ගුණය මනින ඒකකය වේ. බලය යනු ධනයෙන් උත්පාදනය වන සෘජු ඵලය වේ. මේ අනුව තාරුණ්‍ය ලෝකයේ බලය සඳහා ඉතා වැදගත් වේ.

 යාන්ත්‍රීකරණය වන ලෝකයක මානව ශ්‍රමයට ඇති තැන කුමක් ද යන ගැටළුව නඟන විට ඊට පිළිතුරු සැපයිය හැක්කේ සැබවින් ම යන්‍ත්‍ර සූත්‍ර වලට සියලු සංවර්ධන අවශ්‍යතා පිරිමැසිය හැකිද යන ප්‍රශ්නයෙනි. එසේ වන්නේ නම් රොබෝවරු ලෝකයට අවශ්‍ය ශ්‍රමය ලබා දෙන කාලයක මානවයාට, මානව ශ්‍රමිකයාට ඇති තැන කුමක්ද? රොබෝ තාක්ෂණයෙන් ඉහළ මට්ටමක සිටින ජපානයේ රජයන් දරුවන් හැදීමට රුකුල් දෙන සහනාධාර වරප්‍රසාද පිළිබඳ කතා කරනුයේ අද අප මේ ජිවත් වන බුද්ධිමය අවකාශයේ සර්ව බලධාරියා මිනිසා වන නිසා ය. යන්ත්‍ර නිමිත රාජකාරි කරනු ලබනවා මිස පරිකල්පන ශක්තියෙන් හීන වන තාක් මානව ශ්‍රමය එක්ව සලකන කළ අනෙකක් හා අසමානය. පරිගණකයක් සතු දැනුම හා ඈත පරිසරක ජීවත් වන කිසිදු සාක්ෂරතාවක් නැති මිනිසෙකු එක තරාදියක කිරා බලන්නේ නම් වඩාත් වටින්නේ එම මිනිසා සතු දැනුම බවට විවාදයක් නැත්තේ තමා ජිවත් වන්නා වු අවකාශයෙන් ඔහු ලබන දැනුම තවත් දැනුමකට සම නොවන බැවිනි. මෙම දැක්ම ආත්මාර්තකාමි ඒකපාර්ශවීය වන්නේ යැයි කෙනෙකුට නිදහසේ හිතන්නට පුළුවන. එහෙත් යන්ත්‍රයකට එය නොහැක. යම් දිනෙක යන්ත්‍ර දියුණු වී ඒවාට අවශ්‍ය බුද්ධිය ගොඩ නඟා ගතහොත් මේ සටහන් එදිනට වලංගු නැත. එදා මිනිසා අප මවන ලද්දේ දෙවියන් යැයි ඇදහු  අතර මෙය පිළිගන්නා අය තරමටම නොපිළිගන්නා අයද වෙති. හෙට ලෝකය සමස්තයක් ලෙස ම සමහර විට මෙය නොපිළිගෙන ඉවතලන්නට පුළුවන් සේ ම දිනෙක මතු දා යන්ත්‍ර මිනිසාගෙන් යැපී සමගාමී වී පසුව අභිබවා යා හැක. අප හා පරිසරය අතර සබඳතාවය ද එවැනි ය. මා අසා ඇති පරිදි ජපානයේ හදන රොබෝලාගේ සමහර ක්‍රියාකාරකම් අද වන විට යම් තරමකට අවස්ථානෝචිත ය, තරමක් දුරකට ස්වාධීන ය. එහෙත් යන්ත්‍ර විසින් මානවයා පරදන ඒ යුගය තවම එළබ නැති බැවින් මිනිසා ඉතා ම වටිනා ශ්‍රමිකයා වේ. ඔහු සතු චින්තනය හා බුද්ධිය හේතුවෙන් හේ අසම සම ය. යන්ත්‍ර සතු සියළු දැනුම් හා වටිනාකම් එවාට ලබා දී ඇත්තේ මිනිසා ය.

මානව සම්පතේ හැකියාව කලින් කළට අවකාශයෙන් අවකාශයට වෙනස් වේ. මේ නිසා යුගයෙන් යුගය  මානව සම්පතේ ප්‍රයෝජ්‍ය ගුණය වෙනස් වේ.  ලෝකයට වැඩ කරන්නෙත් ලෝකය ගොඩඟන්නෙත් මේ ශ්‍රම හමුදාව ය.1950 දී ලෝකයේ තරුණ ජනගහණයෙන් 9% ක් ජිවත් වුයේ අප්‍රිකාවේ වන අතර 30% ක් යුරෝපය ඇතුළු සංවර්ධිත ලෝකයේ ජිවත් විය. වර්ෂ 2050 දී ලෝක තරුණ ජනගහණයෙන් 29% ක් ජිවත් වනුයේ අප්‍රිකානු රටවල බවත් 11% යුරෝපය අතුළු සංවර්ධිත ලෝකයේ ජිවත් වනු ඇති බවත් එක්සත් ජාතින්ගේ වාර්ෂික ජන සංඛ්‍යා වාර්තාව සකස් කරනු ලබන කාල් හබ් මහතා පෙන්වා දේ. ඔහු පෙන්වා දෙන පරිදි වර්තමානයේ තරුණ ජනගහනය වන බිලියන 1.2 කින් සියයට 90 කට ආසන්න තරුණ ජන ගහණයක් අයත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින ලෝකයට වේ. ඉන් සෑම දසදෙනෙකුගෙන් ම අට දෙනෙකු සිටින්නේ ආසියාවේ හෝ අප්‍රිකාවේ ය. මේ අනුව වටිනා මානව ශ්‍රමය ඇත්තේ ආසියා-අප්‍රිකා කලාපයේ ය.

 ස්වභාවික සම්පතෙන් සපිරි මෙම කලාපය පුර්ව සංවර්ධිත රාජ්‍යන්හි සංවර්ධනයට අවශ්‍ය සම්පත් ලබා දුන් අතර එම සම්පත් පාරිභෝජනය කරමින් කලාපයට  / අවකාශයට අවශ්‍ය සංවර්ධනය ගොඩනඟා ගැනීමට  තරුණ ශ්‍රමිකයන් ද එහි එකළ වූහ. තාක්ෂනය ද ඔවුන් සතු විය.මේ නිසා ලෝකයේ බලය ඔවුන් සතු වීම අරුමයක් නොවේ. අද මෙම ආශ්චර්යය හිමි ව ඇත්තේ ආසියා-අප්‍රිකා කලාපයට ය. ‍අද මෙන් ම හෙටට අවශ්‍ය ශක්තියත් ආසියා -අප්‍රිකා කලාපය සතු වේ.

 එනම් සෑම මිනිත්තුවක දීම ලෝකයට අළුත් දරුවන් 158 දෙනෙකු ලැබෙන බවත් ඉන් 4 දෙනෙකු සංවර්ධිත ලෝකයටත් 154 දෙනෙකු සංවර්ධනය වෙමින් පවත්නා ලෝකයටත් අයත් වන බව එක්සත් ජාතීන්ගේ ජනසංඛ්‍යා වාර්තාව පෙන්වා දේ.  මෙයින් පෙන්වන්නේ තවත් වසර විසිපහක් ගිය තැන මේ දරැවන් 158 දෙනාම කිසිදු අතුරු අන්තරායකින් තොරව ජිවත් වුයේ නම්, එවිට සංවර්ධිත ලෝකයට තරුණ ශ්‍රමිකයන් 4 දෙනෙකු හිමිවන විට සංවර්ධනය වෙමින් පවතින ලෝකයට 154 දෙනෙකු හිමිවන බව නොවේද?  මෙම වාර්තාව පෙන්වා දෙන පරිදි 2023 දී බිහි වනු ඇතැයි කියන අටවන බිලියනයක ජන ගහණය මිහිමත වසන කාලය එළබෙන විට ඇමරිකාව යුරෝපය ඇතුළු සාම්ප්‍රදායික ධනවතුන් දුප්පත් වී ආසියා අප්‍රිකා කලාපය ධනවතුන් වේ ද? නිසැක වශයෙන් ම ඔවුන් අද මෙන් ම ජන සංඛ්‍යාවෙන් නම් ධනවත් වනු ඇත. බලවත් මහද්වීපයක ජනගහණයෙන් ආර්ථිකයෙන් ස්වභාවික සම්පතෙන් පුර්ණ වූත් බලවතා වූත් චීනයේ අනාගතය ගැන ඇති පුරෝකතන පැහැදිලිව දකින්නට හැකි වන්නේ මේ වටපිටාව තුළිනි. නමුත් තම ස්වාධීන බව පිළිබඳ මේ රටවල් සෑහෙන යුද්ධයක් කළ යුතුව ඇත. මන්ද බලය හිමි කාලය එළඹෙන විට රට පුර්ව සංවර්ධිත රටක අතකොලුවක් හෝ යටත් විජිතයක් නොවිය යුතු ය. තාක්ෂණිකරණය පවා යටත් විජිතකරණයකි. මන්ද විරවංශ මහතා කියන ලෙස ඇමරිකාවෙන් ගෙන්වන සියළු දේ  ප්‍රතික්ෂේප කරන්නට අපට බැරි ඒ සමඟම අන්තර්ජාලයේ ද තාක්ෂණයේ ද බොහෝ කවුළු අපට වැසි යන බැවිනි. අප තාක්ෂණික වශයෙන් යටත් නොවන්නේ නම් වහමු කියා කියු සැනින් අපට වැසිය හැක. නමුත් අපේ ගෙදර දොර ඇත්තේ අල්ලපු ගෙදරක ය. ඒ වත්තට නොයා අපේ දොර වහන්න නම් අපේම කියා දොරක් අප ම  චීනයේ මෙන් හදා ගත යුතු වෙමු.

කුරුස යුද්ධය මා දකින ආකාරයට ලෝකයේ දිගුම ඉතිහාසයක් ඇති යුද්ධය යි. එය අද ද රෝස වසන්තය නමින් කරලියට පැමිණ ඇතැයි මට සිතේ. පෙනෙන දේ ඇත්ත නම් සදාම් හුසෙන්ලා ගඩාෆිලා මිය යන්නේ තෙල් නිසා ම හෝ කරන ලද අකටයුතු කම් නිසා ම යැයි අපට පෙනෙන්නට සළස්වන ප්‍රබල දේශපාලනික ප්‍රතිවාදීන් මේ යුද්ධය, සීතල යුද්ධයක් කොට අහවර විය යුතුය. ලෝකයේ තරුණ ජනතාව සමස්තයක් වශයෙන් නැඟි සිටින ආකාරය ද අපට දැකිය හැක. ලෝකය සැරසෙන්නේ තෙවන ලෝක යුද්ධයකට මෙනි. ලෝකයේ සමහර රටවලට අනෙක් රටවල් ගිලගැනීමට හෝ ඒවායේ ස්වාධීනත්වය හෑල්ලු කිරීමට ඉඩ නොදිය යුතුවේ. මන්ද යත් ආසියාවේ මෙන් ම අප්‍රිකාවේ තරුණයෝ සංවර්ධනයට දායක කර ගත යුතුව ඇත.

ලෝකයේ අද සිදුවන සිද්ධි සියල්ල මැකින්ඩර් හා සර්වෙස්කිලා කියු දේ මත ම යැපෙනවා දෝ කියා විටෙක සිතේ. හදබිම වෙනුවෙන් කෙසේ හෝ වේවා ගැටි බිම වෙනුවෙන් පවතින අරගලය පැහැදිලිය. කෙසේ හෝ ගැටි බිමේ බහුතරයක් ආසියානුවෝ වෙති, දකුණු ආසියානුවෝ වෙති, මුස්ලිම්වරු වෙති, චීන්නු වෙති, ඉන්දියානුවෝ වෙති. ලෝකයේ ජනාධිකතම රාජ්‍යන් දෙක පිළිවෙළින් චීනය හා ඉන්දියාව වේ. චීන, මුස්ලිම්, හින්දු ආගම් අදහන තරුණ  කාණ්ඩායම් අද ලෝකයේ බහුල වේ. ලෝකයේ තරුණ ජනතාව මේ වන විට සිය කඳවුර සකස් කරගෙන ඇත්තේ ආසියා අප්‍රිකා කලාපයේ ය. ඔවුන්ගේ මේ එකාරාශී විම නිසි පරිදි ප්‍රයෝජනයට ගත යුතුව ඇත. විවිධ පහත හෙළිමේ සාධක රැසකින් ඔවුන් බේරා ගත යුතුව ඇති අතර ඔවුන්ගේ අධ්‍යාපනය උසස් කර රැකියා නියුක්ත කරවීම ද අත්‍යාවශ වේ. එනම් මේ අති විශාල තරුණ ජනකාය හොඳ මානව සම්පත් කළමණාකරුවෙකුට නතු කළ යුතු වේ.




                  











No comments:

Post a Comment