Tuesday, January 28, 2014

බෑවුම් විශ්ලේෂණය කිරීමේ සිතියම් ක්‍රමවේද කිහිපයක් පිළිබද විමසුමක්

මේ ලිපිය පළ කරන්නේ බෑවුම් විශ්ලේෂණය පිළිබද,
·     ජී.එස් ස්මිත් ක්‍රමය
·        හෙන්රි සහ රේස් ක්‍රමය
·        ඒ.එච් රොබින්සන් ක්‍රමය
                             යන සිතියම් විද්‍යාත්මක ක්‍රම පිළිබද විමසීම සදහා ය.

සැ.යු:මේ ලිපිය තේරුම් ගත හැක්කේ ඉහත ක්‍රමවේද පිළිබඳ හදාරා ඇති අයට පමණි.මේ ලිපියෙන් එම ක්‍රමවේද පිළිබඳ සදහන් නොකර දුර්වලතා හා වාසි අවාසි පිළිබඳව පමණක් කතා කරනු ලබන්නේ එම වාසි අවාසි දුර්වලතා ආදිය පිළිබඳව වඩාත් හොදින් සාකච්ඡා කළ යුතු වු බැවිනි.

        බෑවුම් විශ්ලේෂණය කිරීමේ වැදගත්කම.
අප වාසය කරනු ලබන මේ පොළව තළය විස්තර කිරීමේ විද්‍යාත්මක ක්‍රමයක් වන සිතියමේ ඉතාම විශේෂිත අංගයකි බෑවුම් විශ්ලේෂණය. එසේ පැවසිමට හේතුව වන්නේ බෑවුම ඉතාම අඩු තැන තැනිතලාය. එය වැඩි වීමට අනුව ක්‍රම ක්‍රමයෙන් පොළව කදුකර ලක්ෂණ විදහා පෙන්වයි.

 භූමියක් විස්තර කිරීමේදී පළමුවෙන් එහි ස්වභාවය විස්තර කරනු ලබන අතර එහිදි භාවිතා කරනු ලබන තැනිතලාව, රැළි බිම, කන්ද, හෙළ, දඹය ආදී වචන වලින් විග්‍ර කරනු ලබන්නේ ඒ ඒ භූමියේ පවතින බෑවුමෙහි ස්වභාවය යි. එකම දේශගුණික තත්ත්වයක තිබෙන මානව කටයුතු වෙනස් ලෙස හැසිරවීමට තරම් මෙය ප්‍රබල ය. සෑම තැනකම බෑවුම සමාන නැත.

පෘථිවිය මත වෙසෙන මිනිසා ඒ මත කුමක් කරන්නේ ද යන්න අධ්‍යයනය කිරීම භුගෝල විද්‍යාවේ කාර්යය භාර්යයක් වේ. මේ නිසා මිනිසා හා පරිසරය පිළිබඳව අධ්‍යයයනය කරනු ලබන විශයක් වශයෙන් භූගෝල විද්‍යාව භූමියේ ස්වභාවය අධ්‍යයනය කළ යුතු වේ. බෑවුම් පිළිබඳ අධ්‍යයනය කිරීම මේ අනුව ද භූගෝල විද්‍යාවට ඉතා වැදගත් වේ. 

විවිධ සංවර්ධන කටයුතු සඳහා සැළසුම් සකස් කිරීම, කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට මෙන්ම මානව ජනාවාස ඉදි කිරීමට අවශ්‍ය භූමි තෝරා ගන්නා විටද බෑවුම් පිළිබඳ අධ්‍යයනයන් වැදගත් වේ.

          පහත රෑපයෙන් පෙන්වන්නේ කඳුකරයක් හා තැනිතලාවක් දැක්වෙන බිමකි. එහි ඇති විශම බෑවුම් තත්ත්වය පෙන්වීම සදහා සිතියම් විද්‍යාත්මක ක්‍රමයක් ලෙස බෑවුම් විශ්ලේෂණය යොදා ගැනේ. මෙම කන්දේ විවිධ ස්ථානවල බෑවුම වෙනස්ය. තැනක බෑවුම ඉතා වැඩි ය (දල ය). තැනක අඩුය. තැනිතලාවේ බෑවුමක් ඇත්තේ ම නැත. 


මේ වෙනස සාමාන්‍ය සිතියමකින් නිරෑපණය කළ නොහැක. සාමාන්‍යයෙන් බෑවුම පිළිබද ඉදිරිපත් කීරීම් කරනු ලබන්නේ සමෝච්ඡ රේඛා සටහන් වලින් වන අතර වඩා දිර්ඝ වූත් සංකිර්ණ වුත් අධ්‍යයනයන් සදහා සංකීර්ණ බෑවුම් හදුනා ගැනීමට බෑවුම් විශ්ලේෂණ ක්‍රම ඉතාම වැදගත් වේ.
 ඒ අනුව පහත දැක්වෙන සිතියම් විද්‍යාත්මක ක්‍රමවේද තුන ම ප්‍රාදේශිය බෑවුම් විග්‍රහ කිරීමට විවිධ විද්වතුන් ගත් උත්සාහයන් වල ප්‍රතිඵල වේ.

·        ජී.එස් ස්මිත් ක්‍රමය
යම් ප්‍රදේශයක උසම තැනත් එහිම පහත ම තැනත් දැක්වීම පිළිබද මෙහි දී විශේෂ අවධානයක් යොමු කර ඇත. එමෙන් ම මෙය තැනකට සාපේක්ෂව තවත් තැනක භූ විෂමතාවය දක්වනු ලැබේ.
මෙහි ප්‍රධානතම දුර්වලතාවයක් වන්නේ මෙම සිතියම් ක්‍රමයෙන් උපරීම හා අවම අගයන් අතර අන්තරය පමණක් සැළකිල්ලට ගැනීම ය. ඒවා  ඕනෑම චතුරස්‍රයක විකර්ණයක දෙකොනේ ඇති ලක්ෂ්‍ය දෙකක් විය හැකි ය. අඳිනු ලබන  සමෝච්ඡ රේඛාව නිවැරදිව දක්වන අගයට වඩා වෙනස්ම අගයක් සමචතුරස්‍රයේ මැද ලිවිමට සිදු වේ.පසුව ඒ මත සිට සමස්ත සිතියම ම නිර්මාණය වේ. වැරදි ස්ථාන ගත කිරිමක් පදනම වශයෙන් ගැනිම සුදුසු නැත.
ලම්භ දඹයක නම් තිරස් තුල්‍යක් කොහෙත්ම නැති විය හැකිය. මන්ද එහි දී සමෝච්ඡ රේඛා එක මත එක වැටෙමින් සමෝච්ඡ රේඛා අතර අන්තරයක් කොහෙත්ම දක්වන්නේ නැනි නිසා ය. අන්තරයක් නොමැති නිසා එය මේ ක්‍රමයෙන් ඒම සමෝච්ඡ රේඛා විශ්ලේෂණය කෙරෙන්නේ නැත.
මේ සදහා ස්මිත් විසින් ම විසඳුමක් ඉදිරිපත් කර තිබේ. අත්‍යන්තයන් දක්වන ලක්ෂ්‍ය එකිනෙකට ඈතින් පිහිටන චමචතුරස්‍ර නැවතත් බෙදිය යුතු යැයි ස්මිත් පෙන්වා දුන්නේ ය. නමුත් මෙය දිගින් දිගට කරගෙන යාම ආධුනික සිතියම් නිර්මාණය කරන්නා වෙහෙසට පත් කරවන්නකි.
 එකම පදනම් සිතියම මුලික කරගෙන අඳිනු ලබන සිතියම් දෙකක් දෙ ආකාරයක් වීම ද ආධුනිකයා වෙහෙස කරවන හේතුවකි. එකම පරිමාණයක් අනුව එකම පදනම් සිතියම භාවිතා කර තමා අදින ලද සිතියමක් අනෙකා අඳින ලද සිතියමෙන් සම්පුර්ණයෙන් වෙනස් විය හැක. මෙය සිතියම පිළිබඳ විශ්වාසභාවය අඩු කිරීමට හේතු වන තත්ත්වයකි. විද්‍යාත්මක ක්‍රමයක නොතිබිය යුතු ලක්ෂණයකි.
පදනම් සිතියමේ දැක්වෙන සෑබෑ භූ දර්ශනයට ඉඳුරාම වෙනස් සිතියමක් අවසානයේ දක්නට ලැබීමද දුර්වලතාවයක් වේ.
 පටු නිම්න ප්‍රපාතාකාර බෑවුම් තැන්වල දක්නට ලැබෙන ගොඩැලි වැනි භූ රූප සහිත පුදේශ වල මෙය යොදා ගැනීම පිළිබද ගැටළු තිබේ. මන්ද මෙහි සලකන්නේ උපරීම අගයන් හා අවම අගයන් මිස ඒ අතර තිබෙන තත්ත්වයන් නොවේ.
මෙ නිසා ඒකාකාරී ලෙස විහිදෙන බෑවුම් සහිත සරළ භූ රූප ඉතිහාසයක් ඇති තිරස් අවසාධිත පාෂාණ ව්‍යුහයක් ඇති පරිණත වු විච්ඡින්න සානුවලට මෙය වඩාත් ම උචිත වන බව පෙන්වා දී ඇත. එසේ සරල නොවන සංකීර් භූරූප සහිත බෑවුම්  විශ්ලේෂණය සදහා මෙය සුදුසු නැත.

·   හෙන්රි සහ රේස් ක්‍රමය
මෙම ක්‍රමය ගොඩනැගෙන්නේ ම ස්මිත් ක්‍රමයේ දුර්වලතා මඟ හැරීම සදහාය.
     මෙහි ප්‍රධානත ම ගැටළුව වන්නේ සිතියම් කොටසේ බැරෑරුම්ම කොටස වන ප්‍ර‍දේශ වෙන් කිරීම පුද්ගල තීරණය මත යැපීම ය. මේ නිසා සිතියම එකිනෙකාගේ දැනුම හා දුෂ්ටි කෝණය මත යැපේ. මෙම සිතියම් ක්‍රමය භාවිතා කරන කිහිප දෙනෙකුට එකම ප්‍රදේශයක බෑවුම් විශ්ලේෂණය විවිධ අයුරින් කළ හැක. විද්‍යාත්මක ක්‍රමයක් මෙසේ පුද්ගලයාට සාපේක්ෂව වෙනස් වන විට එහි විශ්වාසනීය බව බි‍දේ.
එකවර බලන්නෙකුට සිතියම අවබෝධ කරගැනීම අපහසු ය. එය සාමාන්‍ය සිතියමක ස්වරෑපයෙන් තරමක් දුරස්ථ බැවින් අවබෝධ කරගැනීම සදහා බෑවුම් විශ්ලේෂණ ක්‍රමයන් පිළිබඳව දැනුමක් තිබිම අත්‍යාවශ වේ.
නමුත් මේ මඟින් එකම ආකාරයේ බෑවුම් ව්‍යාප්ත වී තිබෙනුයේ කොහේද කියා දැනගැනීමේ පහසුව තිබේ. මේ නිසා යම් වගාවක් සඳහා සුදුසු බෑවුමක් තීරණය කිරීමේදී (රබර් වගාව වැනි) , යම් සංවර්ධන ව්‍යාපෘතියක් සදහා බෑවුම් ප්‍රදේශ තෝරා ගැනීමේ දී, නාය යාම් ඇතිවිය හැකි ප්‍රදේශ හඳුනා ගැනීමේදී, ඉදිකිරීම් (ජනාවාස වැනි) කටයුතු වලදී, භූමිය හා ප්‍රදේශය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීම  වැනි තත්ත්වයන් වලදී ප්‍රයෝජනයට ගැනීමට  සුදුසු ම සිතියම් ක්‍රමවේදයක් වේ.

·     ඒ.එච් රොබින්සන් ක්‍රමය
මෙය ද පුද්ගලයාගේ කැමැත්ත හා හැකියාව මත තීරණය වන සිතියම් ක්‍රමවේදයකි.
 ප්‍රධානත ම ගැටළුව වන්නේ මෙහි තිත් තැබිමේ ක්‍රමය යි. තිත් වල ස්ථාන ගත වීම සිදු විය යුත්තේ කොතැන ද යන ගැටළුව මතු වේ. විශේෂයෙන් ආධුනිකයන් සිතියම සකස් කරන විට මේ ගැටළුව ඉතා තදින් ස්මතු වේ.
තිතක් තබන තැන තීරණය කිරිමට සිතියම නිර්මාණය කරනු ලබන්නාට රොබින්සන් ක්‍රමයෙන් දී ඇති උපදෙස වන්නේ, ‘එක් එක් සමචතුරස්‍රයේ බෑවුම අනුව බෑවුමේ එක් අංශකයකට එක් තිතක් බැගින් තැබිය යුතු ය. එහෙත් ඒවා සමමිතික / ජ්‍යාමිතික හැඩයක් මතු නොවන ලෙස ස්ථාන ගත කළ යුතුය. තිත තබන තැන තීරණය වන්නේ යාබද කොටුවේ තබන ලද තිත් වලට අනුව වේ. මෙය ආධුනිකයෙකුට වටහා ගැනීමට අපහසු ය. හේ තීරණ ගැනීමට කොතරම් දුර්වල වන්නේ ද ඒ තරමට සිතියම ද දුර්වල වේ.
නමුත් බැලු බැල්මට එය තිත් සිතියමක් සේ කියවීම පහසුය. එමෙන් ම ආලෝකය අඳුර අතර දෘශත්මක වෙනස සිතියමේ බෑවුම නිරෑපණය කිරීමට මනා පිටුවහලක් ලබා දේ.
බෑවුම දළ වන විට තිත් ළඟ ළඟ ද බෑවුම මද වන විට තිත් ඈතින් ඈතද පිහිටයි. මේ හේතුව නිසා  සිතියම අවබෝධ කරගැනීම  පහසුය.



Sunday, January 12, 2014

ගංවතුර ව්‍යසන




ජල අතිරික්තය හා ඌණතාවය යන අවස්ථා දෙකම ජල විද්‍යාත්මක උපද්‍රව ඇතිවීමට හේතු වේ (ධනපාල: 2008). එහිදී ඟං වතුර, වෙරළ ඛාදනය, පාංශු ඛාදනය, ලවණීකරණය, නියග හා කාන්තාරීකරණය හුනා ගත හැකි අතර ජල අතිරික්තතාවය තුළ ගං වතුර ව්‍යසනයන් නිර්මාණය වේ.

ගංවතුර උපද්‍රවය යනුවෙන් හදුන්වනු ලබන්නේ ගංගාවක ස්වභාවික නිම්න උතුරා එම ජලය ගංගා නිම්න දෙපස පිහිටි පිටාර තැනි ප්‍ර දේශයේ ගලා ගොස් එහි පදිංචිකරුවන්ගේ ජීවිත හා දේපල වලට හානි සිදු කිරීමය (Smith,1989). වාර්ෂිකව ගංඟාවක ජල මට්ටම ඉහළ නැඟිම ඟං වතුර උපද්‍රවය ලෙස නොසැලකෙන අතර අධික වර්ෂාපතනය නිසා ඇති වන අධික ජල ගැලීම ඟං වතුර ලෙස හඳුන්වයි.(අමරසේකර සහ දසනායක,2005 පි: ).ගං වතුර උපද්‍රවයක් සෙමින් හෝ වේගයෙන් හට ගැනීමක් සිදු විය හැකි අතර එය දින ගණනක් හෝ සති ගණනක් වූවද පැවැතිය හැකිය. ඇත්තෙන්ම ගං වතුර වනාහී කාළගුණ විදයාත්මක උපද්‍රවයක ද්වීතික උපද්‍රවයක් සේ සැලැකිය හැකිය (ධනපාල ,2012 පි:118).
 ප්‍රධාන වශයෙන ගංවතුර ඇති වන ආකාර දෙකකි.

                   ක්ෂණික ගංවතුර
අකුණු කුණාටු ආශ්‍රිත වර්ෂාපතනය ඇසුරින් නිර්මාණය වන ඟං වතුර මෙනමින් හැඳින්වේ. සාපේක්ෂකව කෙටි කාලයක් තුළ තීව්‍ර වර්ෂාපතනය හේතුවෙන් ක්ෂණික ඟං වතුර තත්ත්ව ඇති වේ. මෙවැනි තත්ත්වයන් ඉතා කුඩා ප්‍ර දේශයකට පමණක් බලපෑම දැකිය හැකිය. 

                   ප්‍රාදේශීය ගංවතුර
මේවා ගංඟා ද්‍රෝණියක පිටාර ගැලීම නිසා විශාල ප්‍ර දේශයක් යට කරමින් ඇති වන ජල ගැලීමේ තත්ත්වයයි. ප්‍රා දේශීය ජල ගැලීම් හේතුවෙන් විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් දේපල විනාශ වීමක් වාර්ෂිකව සිදු වේ. එමෙන්ම ප්‍රවාහන හා සන්නිවේදන සේවාවන්ට අලාභ හානි සහ අවහිරතා ඇති වීමෙන් සිදු වන ආර්ථික අලාභය ද විශාලය (ධනපාල,2012. පි:120)

     ගංවතුර උපද්‍රවයක් නිර්මාණය වීමේ ස්වභාවය අනුව එය ප්‍රධාන කොටස් තුනක් ඔස්සේ හඳුනා ගත හැකි ය.

                   ගංඟා ආශ්‍රිතව ඇති වන ගංවතුර ( River Flood) 

අධික වර්ෂාව හේතුවෙන් ඟංගාවේ පිටාර ගැලීම් නිසා ඇති වේ.ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් හට ගනුයේ වර්ෂාවත් සමඟ ගංගා‍වේ ජල ධාරිතාවය ඉහළ නැගිමත් සමඟය. එය පහත සටහන මඟින් දක්වා ඇත.




       සාමාන්‍යයෙන් ගංවතුර හට ගනු ලබන ආකාර ප්‍රධාන ස්වරූප තුනක් පවතී. සෙමින් ඇති වන ගංවතුර (Slow- Onset Floods ) තත්ත්වයක් හට ගත හැකි අතර එය නොකඩවා ඇති වන වර්ෂා තත්ත්වය තුළ දින ගණනාවක් හෝ සති කිහිපයක් තුළ පැවතිය හැකිය. කෙටි කාලකදී හට ගනු ලබන වන ඟං වතුර (Rapid Onset Flood) ඉහළ කඳුකර ප්‍ර දේශ වලට හදිස්සියේ ඇති වන අධික වර්ෂාව නිසා හට ගනු ලබයි. ක්ෂණික ඟං වතුර (Flash Flood) තත්ත්වයන් කැටිවැහි වළාකුළු ආශ්‍රිතව හට ගන්නා අධික තීව්‍රතාවය නිසා ඉහළ යන වර්ෂාපතන තත්ත්වයටන් හමුවේ ඇති වේ. එමෙන්ම භූ ගර්භ උපද්‍රවයක් යටතේ නාය යෑම් නිසා ද තාක්ෂණික උපද්‍රවයක් යටතේ බැමි හා වේලි කැඩි බිඳී යාම නිසාද හට ගැනෙන තත්ත්වයකි. පහත රූප සටහන මඟින් දක්වා ඇත්තේ ගංගා ආශ්‍රිත ගංවතුර තත්ත්වයක අධ්‍යයනය සඳහා වෙන් කළ කොටස්ය.




                   වෙරළ ප්‍රදේශ වල ඇති වන ගංවතුර( Coastal Flood)

අධික උදම් තරංග හා කුණාටු තරංග නිසා වෙරළාශ්‍රිත පහත් බිම් ප්‍ර දේශ ජලයෙන් යට වී යාම මෙයින් අදහස් කෙරේ. පහත සටහන දක්වා ඇත්තේ වෙරළ ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් හට ගනු ලබන ආකාරය ය.



 නිවර්තන වාසුලි පවත්නා විට මේ තත්ත්වයන් ප්‍රබල වේ. අද වන ලෝකයේ හඳුනා ගැනීම වන සුනාමි තත්ත්වයන් හමුවේද දෙශගුණික විපර්යාස ත්ත්ත්වයන් හමුවේද වෙරළාශ්‍රිත ඟං වතුර තත්ත්වයන් උද්ගත වේ.


 
                   නාගරික ප්‍රදේශ වල ඇති වන ගංවතුර (Urban Flood)

නාගරීකරණය සමඟ ස්වභාවික ජල අපවාහනයේ තුලිතතාවය බිඳ වැටීම නිසා නාගරික ඟං වතුර තත්ත්වයන් හට ගනී.


       නාගරික ප්‍ර දේශ ආශ්‍රිතව නාගරීකරණය පදනම් කර ගෙන උද්ගතව ඇති දැවැන්ත ව්‍යවසන තත්ත්වයක් ලෙස නාගරික ඟං වතුර හඳුනා ගත හැකිය. නාගරික ජල ගැලීම් ව්‍යසන වර්ෂා ජලය වැඩි වීම නිසා ඉදි කළ භූමිය මත අතිරික්ත ජල අපදාවය වීම නිසා හෝ සාමුද්‍රික ජල මට්ටම ඉහළ යාම තුළ වෙරළ ආශ්‍රිත පහත් බිම් හී  පිහිටා ඇති නගරයන් යට වීම නිසා හෝ ඇති විය හැකිය.




මෝසම් දේශගුණික ප්‍රදේශ වාර්ෂිකව ගංවතුර උපද්‍රවයන්ට ලක්වේ. ආසියාවේ වසරකට හෙක්ටයාර් දස ලක්ෂ 4 ක් භෝග හා ඉඩම් විනාශ වේ. දස ලක්ෂ 17 ක් ජනතාවට වාර්ෂිකව ඟං වතුර ව්‍යසනයක් ලෙස බලපායී (Smith,1989). කාලීන හෝ ප්‍රාදේශීය වශයෙන් ඟං වතුර ව්‍යසනයන්ගේ ස්වරූපය වෙනස් වූවත් 2012 වර්ෂය වන විටත් ලොක්යේ වැඩි වශයෙන්ම දක්නට ලැබෙන උපද්‍රවය වන්නේ ඟං වතුර ව්‍යසනයි (ADSR,2012).

Saturday, January 11, 2014

උපද්‍රව සහ ව්‍යවසන



උපද්‍රව හා ව්‍යවසන

නියතිවාදයෙන්  ශඛ්‍යවාදයට පිය නැගූ මිනිසා සිය පැවැත්ම උදෙසා පරිසරය විවිධ අයුරින් වෙනස් කළ අතර අද එහි ප්‍රතිවිපාක වල ගොදුරු බවට පත්ව ඇත. මිනිස් සංහතිය පෙර නොවූ විරූ ලෙස නූතන ජයග්‍රහණ අතපත් කර ගත්ත ද තවමත් පරිසරයේ වහළුන්ම වෙති. එය සනාථ වන ප්‍රබල අවස්ථාවක් ලෙස උපද්‍රව සහ ව්‍යවසනයන් හඳුනා ගත හැකිය. තවමත් අප පරිසරයේ යකඩ හස්තය අභිබවා යාමට තරම් දියණු නොවෙමු. මෙම ලිපිය උපද්‍රව සහ ව්‍යවසන අතර පවතින වෙනස පිළිබඳ හඳුනා ගැනීම සඳහා ගනු ලැබූ ප්‍රව්ශයක් පමණි.
උපද්‍රව හා ව්‍යසන යන සංසිද්ධීන් එකිනෙකට බැඳී පවතී. මෙහිදී උපද්‍රවයකින් සිදුවන ප්‍රතිඵල ව්‍යවසන ලෙස විස්තර කෙරේ (UNDP 2004). ස්වභාවික උපද්‍රවයක් (Hazards) ආපදාවක් තුලින් ව්‍යවසනයක් (Disaster) නිර්මාණය වේ. ස්වභාවික පරිසරය විසින් හෝ නිර්මිත පරිසරය විසින් උපද්‍රව හට ගනු ලබන අතර එහි ප්‍රතිඵලය එසේත් නැතිනම් ප්‍රතිවිපාකය සමාජයට බලපානු ලබයි. මේ නිසා ව්‍යවසනයක් සමාජ විද්‍යාත්මක මුහුණුවරක් ගනු ලැබේ. උපද්‍රවය එසේත් නැතිනම් අපදාවය (Hazards) යන්න ප්‍රංශ භාෂාවෙන් හෝ අරාබි භාෂාවෙන් බිඳී ආ වචනයක් වන අතර ඉංග්‍රීසි භාෂාවේදී උපද්‍රවය යන්න “Hazards“ වශයෙන් භාවිත කරනු ලබයි. පැරණි මිනිසා උපද්‍රවයන් දෙවියන්ට බාර කළ අතර පරිසර ක්‍රියාවලියන් සම්බන්ධ හේතු හා ඒවායේ බලපෑම පිලිබඳ අවබෝධ වීමත් සමගම ස්වභාවික උපද්‍රව පිළිබඳව තිබු මත හා අදහස් වෙනස්ව ගියේය. ඒ අනුව ස්වභාවික පරිසරයෙන් සේම මිනිසාගේ බලපෑම මතද උපද්‍රව නිර්මාණය වන බව හඳුනාගෙන ඇත .

පෘථිවි පෘෂ්ඨයේ අස්ථායි ශක්තිය මුදාහැර ස්ථායි තත්වයට පත්වීම සරලව උපද්‍රව වශයෙන් අර්ථකථනය කළ හැකිය. අන්තර්ජන්‍ය හා බහීර්ජන්‍ය යන ස්වභාවික  ක්‍රියාවලින් පෘථිවි පෘෂ්ඨයේ ස්ථායිතාව රඳවා ගැනී සඳහා නිරන්තරයෙන් පෘථිවි පෘෂ්ඨයේ ඕනෑම ස්ථානයක සිදුවේ. මෙසේ සිදුවන  අන්තර්ජන්‍ය සහ බහීර්ජන්‍ය යන සියලුම ස්වභාවික ක්‍රියාවලින්  උපද්‍රව වශයෙන් හඳුන්වා දිය හැක .
ස්වභාවික පරිසරය විසින් හෝ නිර්මිත පරිසරය විසින් ඇති වන හෝ ඒ මඟින් මිනිසාට හෝ ස්වභාදහමට ඇති කරන විභව තර්ජනයකි

ලෙස කෙට්ස් 1978 දී උපද්‍රව යන්න නිර්වචනය කර දක්වයි. ගංවතුර,  නාය යෑම්, භූචලන, සුනාමි, ගිනිකඳු, නියඟ මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරනු ලබන යුද ගැටුම්, රථ වාහන අනතුරු, න්‍යෂ්ටික පිපිරීම් ආදිය උපද්‍රව වේ. උපද්‍රවය යන්න පාලනය කළ නොහැකි තත්වයකි. නමුත් එහි අවදානම හා ගොදුරු වීමේ හැකියාව අඩු කිරීම තුල උපද්‍රව අවම කිරීම කළ හැකිය .

 1964 ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට අනුව (Concise Oxford   Dictionary) ව්‍යසන නිර්වචනය කර දක්වන්නේ හදිසි විශාලඅවාසනාවන්ත තත්වයකි ලෙසයි. වෙබ්ස්ටෙර් ශබ්ද කෝෂය (Webster Dictionary ) ක්ෂණිකව විශාල හානියක් සිදුකරමින් ඇතිවන ඛේදජනක තත්ත්වයක් ලෙස ව්‍යවසන හඳුන්වා දෙන අතර සිංහල ශබ්ද කෝෂයට අනුව ව්‍යවසනයක් යනු විපතකි , කරදරයකි.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රකාශයට පත්කළ අපදා කළමනාකරුවන්ගේ අත් පොත මගින් ව්‍යවසන යන්න නිර්වචනය කර ඇත. ඊට අනුව
 මිනිසා විසින් නිර්මාණය කරනු ලබන හෝ ස්වභාවිකව ඇති වන, ක්ෂණිකව හෝ ක්‍රමාණුකුලව වර්ධනය වූ එයට ගොදුරු වන ගොදුරුවන ජනතාවට විවිධ සුවිශේෂී පියවර අනුගමනය කිරීමට සිදුවන සිදුවීමක් ව්‍යවසනයක් ලෙසය.

මේ අනුව උපද්‍රව හා  අවදානම යන ක්‍රියාවලි ද්විත්වයම මිනිස් ක්‍රියා කෙරෙහි බලපාන අතර එවන් බලපෑමකින් මිනිස් ජීවිත විනාශ වීම, තුවාල ලැබීම හෝ මිනිසාගේ දේපල වලට හානි සිදුවීම ව්‍යවසනයක් ලෙස හඳුනා ගත හැකිය. (Quaranteli,1998). පාරිසරික උපද්‍රව පිලිබඳ පුළුල් අධ්‍යනයක යෙදුනු Sheehan හා  Hewitt යන විද්වතුන් පාරිසරික ව්‍යවසන නිර්වචනය කිරීමේදී යම් උපද්‍රවයකින් සිදුවන හානිය තක්සේරු කිරීමටත් ප්‍රමාණිය කිරීමටත් නිර්ණායක කිහිපයක් යොදා ගන්න ලදී.
01)       අඩුම වශයෙන් සියදෙනෙකුවත් මරණයට පත් වීම (100)
02)       අඩුම වශයෙන් සියදෙනෙකුවත් (100) අනතුරට පත් වීම
03)       අඩුම වශයෙන් ඩොලර් දසලක්ෂයක් අලාභානි වීම

එහි නිර්ණායක විය (අමරසේකර  සහ දසනායක,2005  පි: 126). මේ අනුව ප්‍රජාවගේ හෝ සමාජයේ සාර්ථකත්වය උදෙසා සම්පත් පරිභෝජනයට පුරුදුව සිටි අතර එම සම්පත් සීමාව ඉක්මවා අධි පරිභෝජනය කිරීමේ ප්‍රථිපලයක් ලෙස ප්‍රජාවටත්, සමාජයටත් සහ ප්‍රජාවගේ පහසුකම් බිඳ වැටීමත්, දේපල වලටත් ආර්ථිකයටත් සහ පරිසරය ආදී සියල්ලටම විශාල ලෙස පැතිරුණා වූ ගැඹුරු බලපෑම් නිසා නැතිවීම යම් ව්‍යසනයක් ලෙස තව දුරටත් හඳුනා ගත හැකිය .( UNDP: 2004). සමස්තයක් ලෙස යම්කිසි උපද්‍රවයකින් මිනිසාට හෝ ඔහුගේ දේපල වලට හානියක් වේ නම් පමණක් එය ව්‍යවසනයක් වන අතර උපද්‍රවය අවදානම නොවන අතර ඉන සිදුවන ප්‍රථිපලය ව්‍යවසන ලෙස සරලව අර්ථ දැක්විය හැක. ව්‍යවසනයක් හැම විටම සමාජ විද්‍යාත්මක මුහුණුවරක් ගනු ලබන අතර එය සමාජ ආර්ථික ගැටළු ගණනාවක් ඇති කිරීමට හේතු වේ. ව්‍යවසනයක බැරෑරුම්කම තීරණය කරනුයේ මිනිස් ජීවිත වලට එල්ල වන බලපෑම හා අවදානමේ විශාලත්වය මතය. එය සමාජීය ප්‍රතිවිපාකයකි. ඒ ඔස්සේ පරිසර උපද්‍රවයක ප්‍රමාණය හා ස්වභාවය අනුව එය කොටස් 03 ක් ඔස්සේ හඳුනා ගත හැකිය.

01.මිනිස් ජීවිත වලට සිදුවන උපද්‍රව -Hazard people                                                
(ජීවිත අහිමි වීම්,තුවාල සිදුවීම් ,විවිද රෝගාබාධ ,මානසික බිඳ වැටීම් )
02. දේපල වලට සිදුවන උපද්‍රව -Hazard to Goods
(දේපල හානි හා ආර්ථික වශයෙන් වන අලාභ පාඩු
03. පරිසරයට සිදුවන උපද්‍රව -Hazard to Environments

ඉහත හඳුනා ගැනීමට අනුව සමාජීය වශයෙන් සිදුවන පරිහානිය උපද්‍රව තුලින් ඇතිවන ව්‍යවසනයක ප්‍රබලත්වය හා විශාලත්වය තීරණය කරයි .


ලෝකයේ ස්වභාවික ව්‍යසන.

ස්වභාවික ව්‍යසන ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වා ඇත. එය;
·       ස්වභාවික ව්‍යසන (Natural Disaster) හා
·               මිනිසා විසින් සිදු කරන ලද ව්‍යසන (Man Made Disaster) (UNDP: 2004)
නම් වේ. ස්වාබාවික උපද්‍රවයන්ගේ ප්‍රථිඵලයක් ලෙසත් සියලූම පහසුකම් කෙරෙහි අවදානමක් පවතින ක්‍රියාවලියක් ලෙසත් ස්වබාවික ව්‍යසනයන් හඳුනා ගත හැකිය (UNDP: 2004). මිනිසා ඇතුළු ජීව පද්ධතියටත් ආර්ථික රටාවන්ටන් කෙරෙහිත් ස්වභාවික ව්‍යසනයන් බලපෑම් සිදු කරනු ලබයි. මෙම ස්වභාවික ව්‍යසන උප කාණ්ඩ 05 ක්ද, ප්‍රධාන ව්‍යසන වර්‍ග 12 ක්ද, ඒවායේ උප කාණ්ඩ 30 ක්ද වශයෙන් යුත් වර්ගීකරණයක් හඳුනා ගත හැකිය (Dadby Guha- Sapir, 2010:7-9). පහත ගැලීම් සටහන මඟින් ඉදිරිපත් කර ඇත්තේ ස්වභාවික ව්‍යසන වර්ගීකරණයය.

  මූලාශ්‍රය:http://cred.be.

 
                        මිනිසා විසින් සිදු කරන ලද ව්‍යසන ලෙස බෝම්බ පිපිරීම, හිතා මතා ගිනි තැබීම්, ත්‍රස්තවාදය, යුද්ධ, මංකොල්ලකෑම්, ඒඩ්ස් වැනි රෝග, න්‍යෂ්ටික බලාගාර පිපිරීම් (ෆුකොෂිමා), සමුද්‍ර තෙල් කාන්දු වීම් ආදිය ඇතුලත් වේ (දිසානායක,2011:1). 

                        ලෝකය හා මිනිස් සමාජය යන දෙ අංශයම ස්වබාවික ව්‍යසන මඟින් වෙනස් වීම් වලට ලක් වේ (ධනපාල,2008:1-9). අතීතයේ සිට මිනිසාගේ පැවැත්මට ස්වභාවික ව්‍යසන ප්‍රබල තර්ජනයක් වී ඇත. ජන සංක්‍රාන්ති න්‍යායේ පූර්ව අවදිය ගත් විට එම අවධිය තුළ ඉහළ උපත් හා ඉහළ මරණ අනුපාතයක් පැවතුණ අතර ජන සංඛ්‍යා වර්ධනය ඉතාම අඩු වීය. මෙසේ ස්වභාවික ජන සංඛ්‍යා වර්ධනය අවම තත්ත්වයන පැවතියේ ස්වභාවික ව්‍යසන, දුර්භීක්ෂ, සාගත යන තත්ත්වයන් හේතු වූ නිසාය. ලොව තාක්ෂණික ජය ග්‍රහණ කොතෙකුත් ලඟා කර ගෙන තිබුණ ද අදද නිරත්තරයෙන්ම ස්වභාවික ව්‍යසනයන් මිනිසා ඇතුළු සමාජීය පද්ධතියටම විශාල බලපෑමක් ඇති කර ඇති අතරම එය රටක සංවර්ධනයේ පසුගාමීතවයට හේතු වේ.  ලෝකයේ සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් වශයෙන් බෙදීමකින් තොරව උපද්‍රවයන්ගේ බලපෑම සිදු වේ.