ලංකාව දුපතක් නිසාත් උප මහද්වීපයට ආසන්නයේ පිහිටා ඇති නිසාත් නිධි සාදිත භූ රූප දැක ගන්න වැඩි අවස්ථාවක් ලැබිලා තියෙනවා. තරංග ඛාදනයේදි හා නිධි සාදනයේදි ලංකාවේ දකුණු කොටස ප්‍රසිද්ධ වෙන්නේ බොහොදුරට ඛාදිත භුරූප සදහා වගේම වයඹ දිග කොටස වඩාත් ප්‍රසිද්ධ වෙන්නේ නිධිසාදිත භූ රූප වලටය. දකුණු ප්‍රදේශවලින් භූ හයනයක් සිදු වනවා සේම පුත්තලම වගේ පැති වලින් රට නිර්මාණය වෙන්නේ මෙන්න මේ හේතුව නිසාය. පහත රුප සටහනෙන් පෙන්වදී ඇත්තේ වෙරළ අසල පැතිකඩකි.
කතෘ නිර්මාණයකි
වෙරළ නිධිසාදිත භූ රූප:-
වෙරළ නිධිසාදිත භූ රූප:-
- වැල්ල ( beaches)
- වැලි පර හා වැලි තුඩු (Bars and spits)
- ටොම්බොලෝ ( Tombolo)
- වෙරළබඩ පර (offshore bars)
- කලපුව( Haffs)
- මඩතලා
1. වැල්ල (කොකු වැලි තුඩු හා බාධක වැල්ල)
මෙය ඉතාම පහසුවෙන් දැකිය හැකි සුලබ වෙරළ නිධි සාදනයයි. වඩාත් හොදින් පවසන්නේ නම් වැල්ල යනු ඉහළ ජල මට්ටම හා පහළ මට්ටම අතර පිහිටා ඇති අෂ්ටිල නිධි හා වැලි නිධි වේ. (පාරිසරික භූගෝල විද්‍යාව(උ/පෙ) අ.ප්‍ර.දෙ.78පිට )
වැල්ල මුහුදත් ගොඩබිමත් අතර පිහිටි ප්‍රදේශයකි. මෙය වැලි හා මටසිලිටි කුඩා ගල් කැබලි වලින් සමන්විත වේ. විශේෂයෙන් ම ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නව පිහිටි ‘පරවි දුපතේ’ සම්පුරුණ වැල්ල සැදී ඇත්තේ මළ කොරල් වලින් ය. තරංග ඛාදනයේ භාරය වන ‘වැලි’ තැම්පත් වී ඇති ආකාරය අනුව වැල්ල වර්ග කිහිපයකට බෙදා ගත හැක. වෙරළ පැතිකඩක ප්‍රධාන කලාප 06ක් හඳුනා ගත හැකිය. වැඩිදුර දැනුම සඳහා කියවන්නට හැකි හොදම සටහන සෙනෙවි එපිටවත්ත මහතා විසින් රචිත භෞතික භූගොල විද්‍යාව 1 ග්‍රන්ථයේ 09 වැනි පරිච්ඡේදය යි. එහි සඳන් ආකාරයට වැලි වර්ග කිරීම පිලිබඳ 9.1 වගුව මෙසේ උපුටා දක්වමි.
කැට වල නම | පුමාණය(මිලි මීටර) | රැඳි තිබිය හැකි කෝණය (අංශක වලින්) |
ඉතා සියුම් වැලි | 0.0625-01.125 | 1 |
සියුම් වැලි | 0.125-0.25 | 3 |
මධ්‍යම ප්‍රමාණ වැලි | 0.25-0.50 | 5 |
රළු වැලි | 0.50-1.00 | 7 |
ඉතා රළු වැලි | 1.00-2.00 | 9 |
ධාන්‍ය බඳු කැට | 2.00-4.00 | 11 |
දුනු ගල් කැට | 4.00-16.00 | 17 |
අත් ගල් | 16.00-256 | 24 |
දෑත් බර ගල් | 256 ට වැඩි | 25 |
කඩතොළු සහිත වෙරළට ගංගා එක්වන බොහොමයක් අවස්ථාවලදි කුඩා ප්‍රමාණයක වැල්ලක් ඇති වේ. මේවා ‘මඩිහ වැල්ල’ (Pocket Beach) නමින්ද හැදින්වේ.
- බොකු වැල්ල. (බොකු ආශ්‍රීත වැල්ල වේ. බොක්කක ඇති අවාන් හැඩය නිසා බොක්කක් කාරා ගමන් කරන තරංග වල බලය ක්‍රමයෙන් අඩුවේ. මේ නිසා බොකු ආශ්‍රීතව වඩා ප්‍රබල වන්නේ නිධි සාදන ක්‍රියාව ය. )
- කුණාටු වැල්ල.(කුණාටු ඇති වන අවස්ථා වල දී ඒ මඟින් ගෙනෙන වැලි නිධි සාදනය වීම නිසා සෑදේ. වඩදිය මට්ටමටත් වඩා ගොඩබිම දෙසින් ඇති බිමේ නිධි සාදනය කරයි. එමෙන්ම මෙ වැල්ල පළල් කරනු ලැබේ. එසේ වන්නේ වඩදිය අවස්ථාවේ නිධි සාදනය කරනවාට වඩා දුරින් නිධි සාදනය කරන නිසායි.)
- තැම්පතු වැල්ල.( මෙය සාමාන්‍ය පරිදි දෛනිකව සිදුවන්නක් වේ. )
2. වැලි පර හා වැලි තුඩු
වැලි පරයක් නිර්මාණය වන්නේ වෙරළට නැත්නම් ගොඩ බිමට සමාන්තරව පටු හා දිගටිව වැලි නිධි ගත වීමෙනි. මෙහි වැලි මෙන්ම බොරළු වැනි දේ ද අඩංගුවේ. වෙරලේ ස්වභාවය අනුව වැලි පරයේ නිර්මාණ ක්‍රියාවද සිදුවේ. එනම් වෙරල කඩතොළු නම් වැලිපර ද වැඩියෙන් පිහිටිය හැක. වැලිපර වක්ව පිහිටන විට ‘වක්වැලි වැටි’ යනුවෙන් හැඳින්වෙන අතර වක් වැලිපරයේ හැඩය වක් බව වඩාත් ප්‍රකට කරන විට එනම් කොක්කක් මෙන් සෑදි ඇති විට එය ‘කොකු තුඩු’ ලෙසින්ද හැඳින්වේ. මෙවැන්නක් තව දුරටත් බොක්කක් හරහා වර්ධනය වන වී කෙළවරින් නැවත ගොඩබිමට සම්බන්ධ වු විට බොක්කේ දොරටුව ඇහිරෙන අතර මෙම ලක්ෂණය ‘බොකු මුව පරය’ / ‘බාධක පරය’ ලෙසින් හැදින් වේ.
උදාහරණ: ලංකාවේ පුත්තලම කලල්පිටිය වැනි ප්‍රදේශවලදි ඉතා හොදින් දැක බලා ගත හැක.
3.ටොම්බොලෝ
ටොම්බොලෝ කියන්නෙ ගොඩබිමට ආසන්නයේ ඇති දුපතක් අතර වැලිපරයක් වර්ධනය වීම නිසා ඒ වැලිපරය මඟින් ඒ දුපත හා ගොඩබිම එකට යා විමයි. ඒ නිසාවෙන් කලක් යද්දි ටොම්බොලෝවක් නිසා දුපතයි ගොඩබිමයි යා වෙනවා. මේ වගේ ඒවා ලංකාවේ වයඹ දිග වෙරලේ ඇති බව මා කාලෙකට කලින් අසා ඇතත් දැක නැත. කාලයක් තිස්සේ නිරික්ෂණයෙන් දැකිය හැකි මෙවන් භූ රූප නම් වශයෙන් හැදින්වීමට දුශ්කරය.
කතෘ නිර්මාණයකි
ඉහත රුප සටහන මා නිර්මාණය කලේ මෙහි අදහස පැහැදිලි වෙන්න. ටොම්බොලාවක් රූප සටහනක් මගින් පෙන්වා දීම තරමක් අපහසු කටයුත්තකි.
przyladek hafun, somalia
මේ තියෙන්නේ සෝමාලියාවේ ටොම්බෝලාවක්.
උදාහරණ: ශ්‍රී ලංකාවේ දුකුණු දිග වෙරළෙහි මාතර තංගල්ල අතර පිහිටි ටොම්බොලෝව. නාසා උපුටා නසා ආයතනය උපුටා දක්වන අන්තර්ජාල පිටු දක්වන ආකාරයට ආදම්ගේ පාලම හෙවත් රාමා-රාවණ යුද්ධ කතාවේදි හනුමා රාමාව ලංකාවට ගෙන ඒමට සෑදු පාලම (මන්නරමේ - රාමේෂ්වරම්, ධනුෂ්කෝඩි දක්වා ඇති වැලි පර ටික, සේතු සමුද්‍රම් නිර්මාණය කරන්න බලාපොරොත්තු වුනේ මේ හරහා )යන ශබ්දකෝෂය ඇතුලත් අන්තර්ජාල වෙබ් පිටුවෙත් සදහන්.
ගුගල් මැප් වලින් හොදින් බලා ගන්න පුළුවන්… ‘ram sethu bridge’ කියලා හෙව්වොත් පෙනේවි…. ලස්සන දුපත් ටික.
4.කලපුව
වෙරළ ආසන්නයේ පිහිටි තුන්පැත්කින් මුහුදින් වටවුත් එකි දිශාවකින් සාගරයට විවෘත වුත් කිවුල් ජලය සහිත පහති බිම් ප්‍රදේශය කලපුවකි. එක පැත්තක් සාගරයට සම්බන්ධ වෙනවා. කලපුවක් බොක්කට වඩා වෙනස් වෙන්නේ කලපුවක් කාලයකට විතරයි මුහුදට සම්බන්ධ වෙන්නේ නමුත් බොක්ක එසේ නොවේ . එමෙන්ම බොක්කක කට වැහුණම එහෙම නැත්නම් ඇහිරුණාම කලපුවක් ලෙස නම් කරනු ලැබේ .
බොක්කක මුව ඇහිරෙන්නේ කොකු වැලි තුඩුවක් බොක්ක හරහා වර්ධනය වූ නමුත් බොක්කක මුව අහුරා දමන වැලි පරයක් හදුන්වන්නේ කොකු වැලි තුඩුව කියලා නෙවේ, බොකු මුව පරය කියලායි. අනුතීර ප්ලාවිතය නිසාත් කලපු නිර්මාණය වනවා. අනුතීර ප්ලාවිතය කියන්නේ මෙහෙම දේකටයි.
ඔයා දන්නවා මුහුදු රළ එනවා පෙරළි පෙරළි වෙරළට…ඊට පස්සේ මේවා ආයේ සාගරයටම ඇදිලා යනවා නේ (නැත්නම් ඉතිං මෙච්චර වෙලා ආපු රළ වෙරළේ ගොඩගහලා තියෙන්න එපැයි. එහෙම ආපහු ඇදිලා යද්දි වෙරළ ඛාදනය කරනවා. මේ ආපහු ගලන සිද්ධියට කියන්නේ ‘පිරි සෝදාව’ කියලා) ආන්න එහෙම ඇදිලා යද්දි තවත් වෙරළ බලා එන රළක හැප්පෙනවා. ඉතිං මේ රළ දෙක එකට හැප්පුනාම අර පිරිසෝදාවෙන් අරන් ගියාපු වැලි පස් එහෙම එහෙමම තැම්පත් වෙනවා. මේවා තැම්පත් වෙන්නේ වෙරළට සමාන්තරව… එහෙම තැම්පත් වෙන වැලි පර වලට තමයි ‘අනුතීර ප්ලාවිතය’ කියන්නේ… මේක සාමාන්‍ය වෙරළ ක්‍රියාවලියක්. කාලයක් මේ විදිහට වැලි තම්පත් උනොත් බොක්කක් ලඟ ජලය අඩු වෙලාවට මේ වැලිපර ස්මතු වෙලා රළවලට බාධකයක් ලෙස පිහිටනවා… දැන් ඔයාට මේ කලපුවේ සීන් එක තේරෙන්න ඕනා.
කලපු නිර්මාණය සදහා බලපානු ලබන්නේ තරංග ම පමණක් නොවුණ ද තරංග නිධි සාදිත ද්‍රව්‍ය කලපු වල තැම්පත් වේ.
උදාහරණ:
පුත්තලම හා මඩකලපුව ලංකාවේ පිහිටි කලපු වලට නිදසුන් වේ.
5.වෙරළබඩ පර
වෙරළට මඳක් ඈතින් මිටි වැලි පර නිර්මාණය වේ. ඒවා හදුවන්නේ වෙරළබඩ පර ලෙසය. වෙරළට එන රළ ආපසු ගසා ගෙන යද්දි අරන් යන වැලි නැවත එන රළක් එක්ක හැප්පිලා යන හංදා (අනුතීර ප්ලාවිතය..) එහෙම රළ දෙක හැප්පෙන තැන වැලි ටික තැම්පත් කරනවා. වෙරළට නුදුරු මුහුදේ මේ ආකාරයට කාලයක් තිස්සේ වැලි තැම්පත් වෙනකොට ඒවා වැලි පර ලෙස පේනවා. මේවා උසින් අඩු වැලි තලා නිසා දැකිය හැක්කේ බාදිය අවස්ථාවේ පමණක් වුවද විය හැක. අනුතීර ප්ලාවිතය නිසා ඇති වේ.
මේ චිත්‍රය ඇන්දේ වැඩේ තේරුම් ගන්න ලේසි වෙන්න. පහල පිංතුරේ තියෙනවා මේ වගේ හැදිච්ච වෙරළබඩ පරයක (ගුවනේ සිට ගත්) පිංතුරයක්.
උදාහරණ: උතුරු ඇමරිකාවේ අත්ලාන්තික් වෙරළේ දක්නට ලැබේ.
මේ වෙරළ ඛාදිත හා නිධි සාදිත භූ රෑප චිත්‍රපට සදහා බොහෝවිට පසුබිම් වනවා. විශේෂයෙන් ම ඉන්දියානු චිත්‍රපට ගීත පසුබිම් සදහා බොහෝ විට නොයෙක් වෙරළ පසුබිම් වෙනවා. ඒ ගැන අවධානයෙන් සිටියොත් ඔබට එම පසුබිම් එක්ක මේ භු රූප බොහෝමයක් දකින්න පුළුවන්.
යෙත් ලිපියකින් ඉක්මනින්ම මුණහැහෙමු…
සුබ දවසක් … ගිහින් එන්නම් !
Godak hoda lipiyak. Obata thawa thawa liyanna hakiyawa labenna prarthana karanawa
ReplyDeleteWedagath dewal godak igena gathta.බොහොම ස්තුති..
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක්....
ReplyDelete👍👍👍
ReplyDeleteඉතාම වැදගත් ලිපියක්. ඔබට ස්තුතියි
ReplyDeleteස්තුතියි
ReplyDeleteසුපිරි
ReplyDelete